ආපනශාලාවේ ආදායමෙන් පාසල් සිසුන්ට නොමිලේ බස් සේවාවක් පවත්වා ගෙන යන සරත්

  👤  3318 readers have read this article !
By mawbima 2018-07-19

සීතාවක - අරන්දර දිසානායක

මියගිය සිය මවුපියන්ටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් පිණිස නොමිලේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සේවයක් පවත්වාගෙන යන පුද්ගලයකු දැරණියගල ප්‍රදේශයෙන් හමුවිය.

දැරණියගල දෙල්ඔලුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. සරත් වසන්ත නමැති මොහු දිනපතා නොමිලේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ බස් සේවයක් පවත්වාගෙන යනු ලබයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සරත් වසන්ත මහතා මෙසේ කීය.

මම ඉගෙන ගත්ත පාසලට බස් රථයක් අරගෙන දෙන්න ඕන කියලා මට අදහසක් තිබුණා. ඒ අනුව මම ෆිනෑන්ස් කරලා බස් රථයක් අරගෙන මියගිය මවුපියන්ට හා යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පිණිස නොමිලේ පාසල් සේවයට යෙදවූවා.

සතියේ සෑම පාසල් දිනයකම උදෑසන 7.15ට හතරේ කණුවෙන් බස් රථය ආරම්භ කරනවා. සවසට දෙල්ඔලුව කනිෂ්ඨ විදුහල ළඟින් නැවත හතරේ කණුව දක්වා බස් රථය ධාවනය කරනවා. බස් රථය පිරෙන්න ළමයි ඉන්නවා. ඒ වගේම ඉරිදාට දහම් පාසල් ළමයි නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව මම වසරකට සැරයක් මගේ වියදමින් සිරිපාදයේ හා කතරගම එක්කරගෙන යනවා.

මම මේ සියලු දේ කරන්නේ දැරණියගල, දෙහිඕවිට මාර්ගයේ දෙල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාවෙන් ලැබෙන ආදායමෙන්. මේ ආපන ශාලාවේ තිබෙන්නේ එළවළු කෑම පමණයි. මම මේ හැම දෙයක්ම කරන්නේ හිතේ සතුටින්. අපි ලක්‍ෂ ගණන්, කෝටි ගණන් හම්බ කෙරුවත් මේ සියලු දේ මැරෙන කොට දාලා යන්න වෙනවා. අපි කරපු හොඳ දෙයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ.

මගේ බලාපොරොත්තුව ‍ෙදාර දෙකේ බස් රථයක් අරගෙන දෙහිඕවිට ඉඳලා දැරණියගලට පාසල් බස් රථයක් යොදවන්නයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon