පොලිසියට තොරතුරු දුන්නේ යැයි උරණ වී නිදා සිටි අයකුගේ හිසට වෙඩි තබා මැරූ විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම

  👤  3240 readers have read this article !
By mawbima 2018-07-19

කේ.එස්. උදයකුමාර්

අපරාධයක් පිළිබඳව පොලිසියට තොරතුරු දුන්නේ යැයි උරණ වී නිදා සිටි පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (18)දා මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. අමල් ඉන්දික සහ ධර්මසීලන් ප්‍රේමසීලන් නැමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ දඬුවම් නියම විය. ධර්මසීලන් ප්‍රේමසීලන් නැමැති විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝගයක් නිකුත් කළේය.

1998 වසරේ, බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධයක් පිළිබඳව පොලිසියට තොරතුරු දුන්නේ යැයි උරණ වූ විත්තිකරුවන් දෙදෙනා මියගිය රත්නසිරි ගීගනගේ නමැත්තා රාත්‍රි නිදා සිටි අවස්ථාවේ ඔහුගේ හිසට වෙඩි තබා මරා දමන ලදැයි නඩු විභාගයේදී තොරතුරු අනාවරණය විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව කීවේය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා තීන්දු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon