ගාල්ලෙන් අතුරුදන් වූ ධීවරයන් හත් දෙනා සතුටු කඳුළු මැද නෑ හිතවතුන් අතරට...

  👤  3110 readers have read this article !
By mawbima 2018-07-19

ගාලු වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ සින්දූර් 2 ධීවර බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් හත්දෙනා පෙරේදා (17දා) සිය ගම්බිම් බලා පැමිණියහ.

ජුනි මස 15දා පිටත්ව ගිය බහුදින යාත්‍රාව ඉකුත් ජුනි මස 29දා සිට අතුරුදන් වූ පුවත ලැබිණි. මාලදිවයින මුහුදු සීමාවේ තිබියදී එරට ධීවරයන් පිරිසකගේ තොරතුරු මත යාත්‍රාව සහ ධීවරයන් මුදා ගත්තේය.

මාලදිවයින තානාපති කාර්යාලයේ දින කීපයක් සිටි ධීවරයන් කටුනායක ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියේය.

සිය ගම්බිම් බලා පැමිණෙන දරුවන් සහෝදරයන් දැක බලාගන්නට බොහෝ පිරිසක් තොටගමුව විහාරස්ථානය අසලට පැමිණ සිටියහ. ධීවරයන් හත් දෙනා පළමුව තොටගමුව රජමහ විහාරයට ගොස් බුදුන් වැඳ සීනිගම දෙවොලේ දේවාලයට පැමිණ ආගමික කටයුතුවල නිරත විණි. මේ අවස්ථාවට ඔවුන්ගේ පවුල්වල පිරිස්ද එක්ව සිටියහ.

ඉන්පසුව සිය නිවෙස්වලට ගිය ඔවුන් සිය ඥාතීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිණි. සතුටු කඳුළු නෙත් පුරා විය. ආදරය, සෙනෙහස පිරී ඉතිරී ගොස් තිබිණි.

අපි ඔවුන් සමඟ කතා කිරීම ඔවුන්ගේ සතුටට බාධාවක් වේ යැයි සිතා පසුවදා ඔවුන් හමුවීමේ අටියෙන් ඔවුන්ගෙන් සමු ගත්තෙමු.

හිරු උදාවී බලාපොරොත්තු ඉටු වූ දවසක් උදාවී ඇති බව ඔවුන්ගේ නිවෙස්වලට ගිය අපිට හැඟිණි.

අසේල සිදුවූ කතාව මෙසේ වේදනාත්මකව කීය.

ඉකුත් මාසේ 14දා තමයි මුහුදු ගියේ. 29දා වෙන කොට චාර්ජ් එක නැති වුණා. ඒ නිසා බෝට්ටුවේ එන්ජිම නතර වුණා. ස්ටාර්ට් කරගන්න බැරි වුණා.

රේඩියෝවත් නතර වුණා. ගොඩබිමට තොරතුරක් දෙන්න බැරි වුණා. කර කියා ගන්න දෙයක් නැතිව බලාගෙන අපි හත් දෙනා හිටියා.

අපි හැමෝගෙම හිතේ ලොකු විශ්වාසයක් තිබුණා කවුරු හරි අපිව දකීවි උදවු කරාවි කියලා. සැරින් සැරේ ගිහිල්ලා කොඩි වැනුවා. අත වැනුවා.

බෝට්ටුවක සේයාවක් දකින කොට අපිට ඉවසුමක් නැහැ. සරම් ඉරලා කොඩි හදාගෙන වැනුවා. උදවු ඉල්ලලා අත වැනුවා. ඔහොම පාවෙලා ඉන්න කොට දහ වැනි දවසේ බෝට්ටුවක් දැක්කා.

අපි හැමෝම ක්‍රියාත්මක වුණා. උඩට නැඟලා කොඩි වැනුවා. ඒ අය දැක්කා. අපේ බෝට්ටුව ළඟට ආවා. ඒ අය මාලදිවයිනේ රැකියාව කරන අය.

ඒ අය එයාලාගේ රේඩියෝවෙන් කතා කරලා අපි ගැන කිව්වා. පැය තුනකින් විතර අපිව බේරාගන්න බෝට්ටුවක් එන බව කිව්වා. අපි හත්දෙනා බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන හිටියා. කොයිපැත්තෙන්ද එන්නේ කියලා.

පැය කීපයක් යනකොට මාලදිවයින් ආරක්ෂක අංශයේ බෝට්ටුවක් ආවා. බෝට්ටුව අතහැරලා එයාලගේ බෝට්ටුවට නඟින්න කිව්වා.

අපි කිව්වා බැටරිය චාර්ජ් කරගත්තොත් හරි යාවියි කියලා. එතකොට ඒ අය චාර්ජ් කරගන්න එයාලගේ බෝට්ටුවේ වයර් එකක් අපිට දුන්නා. චාර්ජ් කරගත්තට හරි ගියේ නැහැ. ස්ටාර්ට් වුණේ නැහැ.

අපි මහත්තයෝ අවුරුදු 6ක් රස්සාව කළ බෝට්ටුව දාලා එන්න දුකයි.

අපි කිව්වා බෝට්ටුව ඇදගෙන යමු කියලා. ඒ අයගේ බෝට්ටුවේ ධාරිතාව අදින්න තරම් මදියි කිව්වා.

ඊට පස්සේ ඒ අය අපි බෝට්ටුවට නඟින්න අකැමැති නිසා පැත්තකට ගිහිල්ලා ගොඩබිම එක්ක සාකච්ඡා කළා. රෑ 11.30ට විතර කිව්වා බෝට්ටුවක් එනවා, ඕගොල්ලෝ ඇදගෙන යන්න කියලා. අපිට හරි සතුටු හිතුණා. ඒගොල්ලෝ අපිට කිව්වා එන බෝට්ටුවට පේන්න සංඥා කරන්න කියලා. අපි ටෝච් අල්ලලා කොඩි අල්ලලා සංඥා කළා. ඊට පස්සේ ඒ බෝට්ටුවේ නැග්ගා.

මුලින්ම දිනිඳු කියන දූපතට අරගෙන ගියා. පොලිසියේ තමයි අපි හිටියේ. අපට හොඳට සංග්‍රහ කළා.

උදේ තමයි මාලදිවයින දූපතට එන්න පිටත් වුණේ. හවස දූපතට ගොඩ බැස්සා.

තානාපති කාර්යාලයෙන් අපිව හොඳින් බලා ගත්තා. අපේ මුදලාලිගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. එයා තමයි අපිව භාරගෙන එයාගේ කාමරේ තියාගෙන උදවු කළේ. ඇඳුම් පැලඳුම් කන්න බොන්න සේරම එයා දුන්නා. ශ්‍රී ලංකාවේ යාළුවෝ අපිට ගොඩක් උදවු කළා. පාස්පෝට් හදලා ලංකාවට එව්වා. මම අවුරුදු හතක් තිස්සේ ධීවර රැකියාව කරනවා. මේ වගේ අත්දැකීමක් කවදාවත් ලබලා නැහැ.

හික්කඩුව, වැරැල්ලාන ලිපිනයේ පදිංචි කේ.එච්. දම්සඳ සුදීප් කුලරත්න (34) මෙසේ කීය.
අපේ ධීවර යාත්‍රාවේ හිමිකරු අපි නැති වූ දවසේ ඉඳලා හොයා ගන්න ගොඩක් උනන්දු වුණා. අපේ දරු පවුල් දිහා බැලුවා. ඒ අයට උදවු කළා. බෝධි පූජා, බාරහාර සියල්ල කරන්න උදවු කළා. ඒ පවුලේ සියලු දෙනාටත් අපේ ඥාතීන්, අසල්වාසීන් හැමදෙනාටමත් අපි වෙනුවෙන් මහන්සි වූ හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා එතුමාට කිසියම් සහනයක් ලබා දෙන්න කියලා.

හික්කඩුව, තොටගමුව ලිපිනයේ පදිංචි විතාරණ රෝහණ මෙසේ පැවැසීය.

අපි කාටවත් කරදරයක් නැතිව දුක් මහන්සි වෙලා රැකියාව කරන අය නිසාම තමයි පණ බේරුණේ. මම මහත්තයෝ කිලෝ මීටර් එකහමාරක් පමණ අතේ කඹයක් ගැටගහගෙන කොඩියක් අරගෙන පීනුවා.

බෝට්ටුවක් පෙනි පෙනීම හැරිලා ගියා. මමත් එක්ක අසේලත් පීනුවා. අපි කරන්න පුළුවන් හැම දෙයක් කළා. ගෙදර අය මතක් වුණා. එතකොට දරාගන්න බැරි දුකක් දැනුණා.
හික්කඩුව, තොටගමුව ලිපිනයේ පදිංචි රාමසුන්දර හෙට්ටිගේ කළිඳු නිලංග චන්දන (26) මෙසේ කීය.

අපිට කෑමවලින් ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බෝට්ටුවට වතුර ටිකක් ඇවිල්ලා හාල් තෙමුණා.

හාල් කොට්ට දෙකක් ඉවත් කරන්න සිද්ධ වුණා. අපි වේල් තුනම නොකා දෙකක් විතරක් කෑවා. වෙනදට වඩා අඩුවෙන් උයන්න ගත්තා. අපි දෙවියන්, බුදුන් විශ්වාස කරන අය. කවුරු හරි අපිව බේරා ගනීවි කියලා හිතාගෙන හිටියා.

හික්කඩුව, සීනිගම ලිපිනයේ පදිංචි සෙල්ලාහන්දි සමන්ත (53) මෙසේ කීය.

අපි ධීවරයෝ විදියට රජයෙන් ඉල්ලන්නේ මේ වගේ අවදානමක් තව අයට ඇති නොවෙන්න කටයුතු කරන්න කියලා. අපි මාස 3කට රුපියල් 7800ක් වී.එම්.එස්. සඳහා බඳිනවා. එම ආයතනය පිහිටුවන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට කොහේ හිටියත් දැනගන්න පුළුවන්.

තෙල්වත්ත දළුවතුමුල්ල ලිපිනයේ පදිංචි ජනිත ප්‍රසංග (27) හික්කඩුව තොටගමුව පදිංචි නයිදුවා හන්දි සුසිල් ප්‍රනීත යන ධීවරයෝද අපි සමඟ සිය වේදනාව බෙදා ගත්හ.

හික්කඩුව - සංජීව මානික්කුවාවඩු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon