මාර්ග පළල් කිරීමට කියලා ගෝඨාභය එදා ජනතාව පාරට ඇදලා දැම්මා

  👤  3308 readers have read this article !
By mawbima 2018-07-19

පසුගිය ආණ්ඩුව සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා පාරවල් විශාල කිරීමට බව කියා එම පාරවල් දෙපැත්තේ ජීවත් වූ මිනිසුන් හමුදාව යොදාගෙන බලහත්කාරයෙන් මහමඟට ඇද දැම්මා මිස ඔවුන්ට ඒ සඳහා වන්දි ලබා නොදුන් බවත් අගතියට පත් එම මිනිසුන් වෙනුවෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි මුදලක් ගෙවීමට මේ වන විට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරයි.

මාවනැල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ සහ පොදු වෙළෙඳ සංකීර්ණය නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. පසුගිය ආණ්ඩු සමයේ මහාමාර්ග ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදය වූයේ පාරවල් පළල් කරන විට එම පාරවල් දෙපස ජීවත් වූ අහිංසක මිනිසුන්ගේ ගෙවල්වලට රෑට හමුදාව ගෙන ගොස් බයකර එම මිනිසුන් බලහත්කාරයෙන් පාරට ඇදලා දාන එකයි. ඊට පස්සේ ඒ ඉඩම් බලෙන් අල්ලා ගන්නවා. මහින්ද මහත්තයාගෙන් පසුව අසාධාරණයට ලක්වූ එම අසරණ මිනිසුන්ට වන්දි ගෙවීමට මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මට සිදුවූණා. ඉදිරියේදී එසේ වන්දි වශයෙන් රුපියල් කෝටි 500ක් පමණ ගෙවීමට තිබෙනවා. ඒ පරණ පව්වලට කර ගැසීමට අපේ ආණ්ඩුවට සිදුව තිබෙනවා.

මාවනැල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ සිවුමහල් ගොඩනැඟිල්ලක් ලෙස නවීන අංගෝපාංගයන් සහිතව ඉදිකිරීමේදී මුදල් ප්‍රමාදයක් ඇති නොවන ලෙස විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 250ක් වෙන් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon