මිහිඳු හිමියන්ගේ දේශනාව පාලකයන් අමතක කරලා

  👤  3901 readers have read this article !
By mawbima 2018-07-18

රටේ සියලු ආර්ථික අංශ අපේ රටේ පාලකයන් විසින් දැන් පෞද්ගලීකරණය කරන්න හදනවා. මෙම ක්‍රමය පෞද්ගලීකරණයම නෙවෙයි. මේක විජාතිකකරණයක්. රටේ සම්පත් පමණක් නෙවෙයි රටේ ආර්ථිකයට අදාළ සියලුම අංශ විකිණීම තමයි මේ අයගේ ප්‍රධානතම අරමුණ. එහිදී රටේ පවතින රාජ්‍ය අංශයද පෞද්ගලික අංශයද කියල වෙනසක් නැහැ. මේ සියල්ල විදේශීය පුද්ගලයන්ට විකිණීමට දැන් කටයුතු සංවිධානය වෙනවා. දේශීය රාජ්‍ය ව්‍යවසායකයා තමයි මේ නිසා අනතුරට ලක්වෙලා තියෙන්නේ. අද රට කියන දේ අපිට නැති වෙලා ඉවරයි. ඒ ගැන හිතන්නේ දැන් අපි විතරයි. පාලකයන්ටත් රට කියන සාධකය වැදගත් නැහැ. පෞද්ගලිකත්වය පමණයි වැදගත්.

සියලු තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව විසින් පත් කළ පාලකයෝ. ඔවුන්ට මහජනතාව වැදගත් නැහැ. ඒ නිසා මම කියන්නේ ජනතාවට අඩුම තරමේ ආර්ථිකය ගැනවත් තීන්දු තීරණ ගැනීමට අයිතිය තිබිය යුතුයි කියලයි. මේ පෞද්ගලීකරණය එතකොට සිදු වෙන්නේ නැහැ. මේ සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශය විකුණා දැමීම මත ආර්ථිකය විදේශ අංශයට යටත් වෙනවා. එදාට ආර්ථිකය පාලනය කරන්නේ ඒ ඒ රටවල්. මං කියන්නේ අඩුම තරමේ ආයතන ටික නෙවෙයි ආයතන පාලනය කිරීමේ බලයක් අපට තියා ගත යුතුයි කියලා. ඔය කාරණය මට මතකයි මිහිඳු හාමුදුරුවෝ කියලා තියෙනවා තිස්ස රජතුමාට 'ඔබ රටේ භාරකාරයා මිසක් අයිතිකරු නෙවෙයි කියලා. අද මේ රටේ පාලකයාට ඒවා අමතක වෙලා. ඒකයි මේ දඟලන්නේ රටේ තියෙන දේපොළ විකුණා දමමින්. මේ මිහිඳු හාමුදුරුවෝ රාජ්‍ය පාලනය සම්බන්ධව දේශනා කළ දේශනය මං හිතන්නේ රටේ අලිඛිත නීතිය කියලයි.

අපේ රටේ සම්පත් තුට්ටු දෙකට විකුණන්න දෙන්න බැහැ. ඒකට අපි කවදාවත් එකඟ වෙන්නේ නැහැ. මං හිතන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ කළ ප්‍රකාශය ඊළඟ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුමයි. රටේ ජනමත විචාරණයක් තියල ඒක සම්මත කළ යුතුයි. එදාට රටේ කිසිම දේපළකට පාලකයකුට අතවත් තියන්න වෙන්නේ නෑ. අද රට ගැන නොසිතා තමන් ගැන සිතන පාලකයෝ නිසා අපට විදේශ රාජ්‍යයන් කියන ඕනෑම කාරණයකට එකඟ වෙන්න සිදුවෙලා තියෙනවා. එහිදී ඔවුන්ගේ සියලුම කොන්දේසිවලට එකඟ වෙනවා කිසිම විවාදයක් නැතිව. නමුත් අපට කිසිම යහපතක් ඉන් සිදුවෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි සිංගප්පූරු ගිවිසුම. ඉන් අපේ රටට කුණු පවා ගෙනත් දාන්න ඉඩ දීම. එවන් තීරණ නිසා රටට සිදුවන විනාශය ඔවුන් දන්නේ නැහැ. බැංකු ක්‍ෂේත්‍රය පවා මේ විජාතිකකරණයට හසු කර ගනිමින් ඉන්නවා. වරාය අද පෞද්ගලීකරණය වෙලා ඉවරයි. අවුරුදු 99කට බදු දෙනවා කියන්නේ විකිණීම තමයි. අවුරුදු පහකට බලය දෙන පාලකයා කොහොමද රටේ සම්පත් අවුරුදු 99කට පිට රටකට විකුණන්නේ.

අප රට බාර දුන්නේ විනාශ කරන්න හෝ විකුණගෙන කන්න නෙවෙයි. රජය පාලනය කරලා රට හොඳ තැනකට ගේන්නය. හිතන්න රාජ්‍ය අංශය අද රැකිලා තියෙනවා නම් ඒ සේවකයෝ නිසා පමණයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පත් වෙන ඇමැතිලා කළේ ඊළඟ ඡන්ද ව්‍යාපාරය සඳහා මේ රාජ්‍ය අංශය භාවිත කිරීම පමණයි. රජයේ දේපළ හා රාජ්‍ය සේවකයා භාවිත කිරීම විතරයි. රටට කිසිම දෙයක් කරලා නැහැ. සේවකයා බැඳිලා ඉන්නවා ඇමැතිට. ඇමැතිට පුළුවන් සේවකයෝ බඳවාගන්න. ඒ වගේම ආයතනයෙන් අස් කරන්නත්. ඉතිං මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඇමැතිට ප්‍රතිපත්ති හදන්න මිසක් රාජ්‍ය ආයතන පාලනය කිරීමට අවසර නොදිය යුතුයි. ඊළඟ මේ ආයතන විනාශ කරලා පෞද්ගලික අංශයට විකුණලා අන්තිමට විදේශ රටක පුද්ගලයකුටත් විකුණන්න තමයි මේ පාලකයන්ගේ අරමුණු. ඊට අපි කිසි දිනක ඉඩ තියන්න හොඳ නැහැ.

මේ නව ලිබරල්වාදය ඇතුළේ මේ ඉන්න පාලකයාට රටක්, ආගමක්, දේශපාලනයක් නැහැ. තියෙන්නේ වෙළෙඳපොළක් පමණයි. ඒ තුළ සියල්ල විකිණීම තමයි අරමුණ. එහෙම රටක අපි වෘත්තිකයන් විදියට රට රැක ගැනීම කළ යුතුයි.

ඊට බැංකු සංගමය විදියට බැංකුත්, අනෙක් රාජ්‍ය ආයතන තුළ සිටින වෘත්තිකයනුත් එකතු වෙන්න ඕන. එහෙම එකතු වෙලා රට ගැන හිතල මේ පාලකයන්ගේ තීන්දුවලට එරෙහිව ඊට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුයි.
පසුගියදා කොළඹදී පැවැති රට කොයිබටද? සම්මන්ත්‍රණයේදී පැවැත්වූ දේශනය ඇසුරෙනි.

සකස් කළේ - නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon