රනිල් හදන්නේ වැවටත් අත තියන්නයි

  👤  3789 readers have read this article !
By mawbima 2018-07-18

රටේ ජාතික සම්පත් විකිණීමේ මානසිකත්වයෙන් වෙසෙන අගමැතිවරයාගේ මෙවර සූදානම වැව නමැති මෙරට ප්‍රෞඪ උරුමයට අත තබා ඇළත් අමුණත් වැවත් රටට අහිමි කරන යුගයක් උදාකරලීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17දා) පිටකෝට්ටේ එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

ඔහු වන්නි හත්පත්තුවේ වැවක් සුද්ද කිරීමේ අවස්ථාවකදී කළ ජාති ද්‍රෝහී අමන මෝඩ ප්‍රකාශය පිළිබඳ ජනතාව දැනුවත් වීම වටිනවා.

මොහු කියනවා මේ වැව හාරලා ගොඩදාන මඩ සහ වැලි කවුද ගන්නේ? අපි තීරණය කළා මේවා විකුණන්න. විකුණලා ඒ ලැබෙන සල්ලි ගොවි සංවිධානවලට දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි මුදල් ඇමැති, අමාත්‍යාංශ ලේකම් මේ කටයුතු ටික ආරම්භ කරලයි තියෙන්නේ කියලත් කියනවා. මේ රටේ ජාතික සම්පත් විකුණන මේ රටේ නරි මෝඩ අමන යහපාලන ආණ්ඩුව අත තියන්න හදන්නේ මේ රටේ වැවටයි. වාරි කර්මාන්තයටයි. වාරි ශිෂ්ටාචාරයටයි. ඒ විතරක් නෙවෙයි එතැනදී ඔහු වැවට ලංසුත් තියනවා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් වැවට ලංසු තියලා නෑ. වැවට ලංසු තැබූ මෙරට ප්‍රථම රාජ්‍ය නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ ලෙස ඉතිහාසගත වෙනවා.

වරාය චීනෙට, මත්තල ඉන්දියාවට, හයිවේ ජපානයට, ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙමින් යන මේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය තුළ මහා ඛේදවාචකයටයි මේ රට ඇදිලා යන්නේ.

මේ වැවට වටිනාකමක් දීලා එජාපයේ ගජ මිතුරු හවුලකටයි වැව් ටික දෙන්න යන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා කෘෂිකර්මාන්තයට, වාරි කර්මාන්තයට අත තියන්න හදන ද්‍රෝහී අණ පනත් පිළිබඳ වහාම රටේ ජනතාව දැනුවත් කරන්න කියලා.

අපි පින් අගමැතිට කියනවා මේ ප්‍රකාශය හරහා ඔබ නරුමයෙක් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි වසලයකුද වී තිබෙනවා.

එක පැත්තකින් ජනාධිපති යනවා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයට. ජනාධිපති ගිහින් වන ඝනත්වය32%කින් නංවන්න කතා කරනවා. අගමැති කතා කරනවා අපේ උරුමයන් විකුණන්න. යා දෙක නොරත රත කියන්නේ ඕකටයි.

රටේ ජාතික සම්පත් විකිණීමේ අවසන් මරණ මංචකය මෙයයි. රටේ අවසන් හුස්ම පොද විකිණීමේ ක්‍රියාවලියයි මේ ආරම්භ කරන්නේ.

මේ ක්‍රියාවලිය පරද්දන්න පෙළගැසෙන්න කියලා අපි සියලු දේශමාමක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon