ජනාධිපති ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක් අරඹයි

  👤  3648 readers have read this article !
By mawbima 2018-07-18

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගිවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක් අරඹයි.

හය වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරය සඳහා සහභාගිවීමට ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා එම සංචාරය සාර්ථකව නිම කර ඊයේ (17දා) අලුයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේල් ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ගුවන් තොටුපොළේදී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව අද (18දා) පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ඇරැඹෙන අතර අද දිනයේම සමුළුව අමතන ජනාධිපතිවරයා මෙම හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (ර්ණීට්ර්ථී) පුරවැසියන් කෙරෙහි ආණ්ඩුව දක්වන විනිවිදභාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකැසුණු යාන්ත්‍රණයකි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන ආණ්ඩුව ගෙන යන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරීත්වය සමඟ එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්විය. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රටද වෙයි.
මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමූහිකව ගත යුතු ප්‍රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේදී පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.

මෙම තෙදින නිල සංචාරයට ජනාධිපතිවරයා සමඟ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුද එක්ව සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon