අතුරුදන්ව ඇති විශ්‍රාමික මිනුම්දෝරු සොයා සෝදිසි මෙහෙයුමක්

  👤  673 readers have read this article !
By mawbima 2018-07-17

යන්තම්පලාව - විජේසිංහ වැලිකන්ද

නිවෙසින් පෙරේදා (15දා) උදෑසන වෑන් රථයෙන් පිටව ගිය පියා නිවෙසට නොපැමිණීම ගැන දුව පොලිසියට කළ පැමිණිල්ලක් මත කළ පරීක්ෂණ අනුව වෑන් රථය හා ඔහුගේ පාවහන් යුගල ඇතුගල මුදුනේ තිබී ඊයේ (16දා) සොයාගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා පැවැසීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල මහසෙන් මාවතේ පදිංචි මුතුබංඩා කලවානේගම (82) නැමැති විශ්‍රාමික මිනුම්දෝරුවරයකු බව පොලිසිය කියයි.

වෑන් රථය හා ඔහුගේ පාවහන් යුගල ඇතුගල මුදුනේ තිබී පොලිසියට හමුවීමෙන් පසු අතුරුදන් වූ විශ්‍රාමික මිනුම්දෝරුවරයා සොයා ඊයේ (16දා) දවල් පොලිස් සුනඛයන් යොදා ගනිමින් පොලිසිය හා කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් සිදුකළත් සවස 4.00 වන තෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලිසිය කියයි.

ඇතුගල අවට කැලෑ රොදවල් සෝදිසි කරමින් පොලිසිය හා විශේෂ කාර්ය බළකා භටයන් මෙහෙයුම දිගටම සිදුකරගෙන යන බව පොලිසිය පවසයි.

කුරුණෑගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරී (1) සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙය වීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.ඒ. නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම සිදු කරති.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුමට කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී එම්.එස්. ඊබ්‍රහීම් මහතාගේ ප්‍රධානත්වයෙන් භට පිරිසක් එක්ව සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon