හිටපු ඇමැති බැසිල්ට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදෙස් රටකට යන්න අවසර ලැබේ

  👤  695 readers have read this article !
By mawbima 2018-07-17

කේ.එස්. උදය කුමාර්

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවි නැඟුම අරමුදලින් රුපියල් මිලියන 35ක මුදලක් වැය කර ජී.අයි.පයිප්ප බට මිලදී ගෙන දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට බෙදා හැරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යෑම සඳහා දැනට පනවා තිබෙන ගුවන් ගමන් තහනම ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (16දා) නියෝග කළේය.

ඊයේ දින මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ස¼දහා තම සේවාදායකයාට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යෑමේ අවශ්‍යතාවක් මතු වී ඇති අතර ඒ සඳහා දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 10 වැනිදා සිට නොවැම්බර් මස 10 දක්වා කාලසීමාව තුළ ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම කරුණ තහවුරු කිරීම සඳහා ඉවහල් වන වෛද්‍ය වාර්තා ද ජනාධිපති නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැන්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාඩ් මහතා කියා සිටියේ මෙම ඉල්ලීම පිළිබඳව තම විරුද්ධතාවක් නොමැති බවය. කෙසේ වෙතත් විත්තිකරු ඉදිරි නඩු විභාගය සඳහා සහභාගි වීමේ පදනම මත මෙම ඉල්ලීම පිළිබඳව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීය.

එම ඉල්ලීම පිළිබඳව සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතාට දැනට පනවා තිබෙන විදෙස් ගමන් නහනම අගෝස්තු මස 10 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ලිහිල් කළ අතර අධිකරණය භාරයේ පවතින විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්‍ෂ 02ක බැඳුම්කරයක් මත මුදා හැරීමට නියෝග කළේය.

මෙහිදී විනිසුරුවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ මුල් පැමිණිල්ල කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති බැවින් මෙම නඩුවේ ඉදිරි විභාගය හෝමාගම මහාධිකරණය වෙත මාරුකිරීමට සිදුවන බව කීවේය.

මෙම නඩුව හෝමාගම මහාධිකරණය වෙත මාරු කිරීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 09 වැනිදා ප්‍රකාශ කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සඳහා දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 35ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන බෙදා හැරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ දිවි නැඟුම හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon