ඒකාබද්ධයේ 30ක් මත්තලට යති

  👤  2944 readers have read this article !
By mawbima 2018-07-17

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු, මාතර - උදය කුමාර රණවීර, මත්තල - ඩී.එන්. ජයසේකර, තංගල්ල - සහම්පති මානගේ, හම්බන්තොට - රාහුල් සමන්ත

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට දැඩි විරෝධය පළකරන බවත් එම තීරණය වහාම වෙනස් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (16දා) මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ නිරීක්ෂණය කොට එහි වෘත්තීය සමිති සහ කාර්යය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීම ජාතික අපරාධයක් බවත් එහි සිදුකළ යුතු සංවර්ධන ක්‍රියාවලිය අතරමඟ නතරකොට එය ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කරන බව පවසමින් චමල් රාජපක්ෂ මහතා චෝදනා නැඟීය.


මත්තල ගුවන්තොටුපොළ මෙසේ ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබියදී හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නව ගුවන්තොටුපොළක් හදන බව ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කුමන පදනමක් යටතේ දැයි චමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.


වසර 3ක් තිස්සේ මත්තල ගුවන්තොටුපොළ ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකර එම ගුවන්තොටුපොළට ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් මත්තල වී ගබඩා කිරීමට කටයුතු කරමින් එය ඉන්දියාවට ලබාදීමට පිඹුරුපත් සැකසුවේ වත්මන් ආණ්ඩුව විසින් බවත් චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මත්තල ගුවන්තොටුපොළ භාරව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු බවත් මේ ආකාරයෙන් රාජ්‍ය දේපළ ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ප්‍රතිපත්තිය නම් එය කනගාටුදායක තත්ත්වයක් බවත් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


කොළඹ වරාය ඉදිකිරීම සඳහා 1983දී එවකට අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා ජපානයෙන් ලබාගත් ණය මුදල තවමත් ගෙවමින් සිටින බවද චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


එම නිසා රටට සම්පතක් වී තිබෙන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීමට ගෙන තිබෙන තීරණය වහාම වෙනස් කරන ලෙසද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ මගී පර්යන්තය, ගුවන් මෙහෙයුම් අංශය, ගබඩා සංකීර්ණය, තෙල් ටැංකි පර්යන්තය, ගිනි නිවීමේ අංශය, ගුවන් ගමන් පාලන අංශය ඇතුළු මත්තල ගුවන්තොටුපොළෙහි සියලුම අංශ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය.


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 30 දෙනකු පමණ මෙම නිරීක්ෂණ අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon