පෙම්වතියට පහරදී ජංගම දුරකථනයත් පරිගණකයත් පැහැරගත් පෙම්වතා රිමාන්ඩ්

  👤  3032 readers have read this article !
By mawbima 2018-07-17

හන්තාන - චමින්ද කුමාර


පෙම්වතිය ගැන සැක සිතූ පෙම්වතා ඇයට පහරදී ඇය ළඟ තිබූ රුපියල් අසූපන්දහසක් වටිනා ලැප්ටොප් පරිගණකය හා රුපියල් විසි දෙදහසක් වටිනා ජංගම දුරකථනය පැහැරගත් බවට පෙම්වතිය විසින් ගලහ පොලිසියට පැමිණිලි කොට තිබේ. මල්ඔය හිඳගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිඑකක තරුණියක් මෙසේ පැමිණිලි කොට ඇත්තේ අවුරුදු විසිතුනක් වන එම ප්‍රදේශයේම පදිංචි තරුණයකුට විරුද්ධවයි.


ඇය හා තමා අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත් ඔහු නිතරම තමා ගැන සැකයෙන් පසුවන බවත් ඇය පවසයි.


තමා නිවෙසේ සිටි විටකදී මොහු පැමිණ තමාගේ ජංගම දුරකථනය ඉල්ලූ බවත් එය දීම ප්‍රතික්ෂේප කළ විට තමාට පහරදී සාක්කුවේ තිබූ ජංගම දුරකථනය උදුරා ගෙන නිවෙසේ තිබූ ලැප්ටොප් පරිගණකයද පැහැරගෙන ගිය බවත් ඇය පොලිසියට පවසා ඇත.


සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ගලහ පොලිස් ස්ථානාධිපති කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලුආරච්චි, පොලිස් කොස්තාපල් සංඛ (73879), තිලකරත්න (7269) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon