අනුරාධපුර නගර සභාවේ ලක්‍ෂ 38ක වංචාවක්

  👤  2905 readers have read this article !
By mawbima 2018-07-17

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය, අනුරාධපුරය - වික්‍රම රළපනාව


වැටුප් සකස් කිරීමේ නිලධාරිනිය ඇතුළු රජයේ නිලධාරීන් පස්දෙනකු සම්බන්ධවී රජයට අයත් රුපියල් ලක්‍ෂ තිස් අටක පමණ වංචාවක් සිදුකර ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඊට සම්බන්ධ බවට සැකකරන කාර්යාල සේවයේ රාජකාරියේ නිරත සේවක සේවිකාවන් හය දෙනකුගේ වැඩ තහනම් කර ඇති බවත් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස මහතා අනුරාධපුරය මහ නගර සභාවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.


මාස 24ක පමණ කාලයක් තිස්සේ සිදුවූ මුදල් වංචාව පිළිබඳ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපති එච්.පී. සෝමදාස මහතා මෙසේ කීය. අනුරාධපුරය මහ නගර සභාවේ සැසිවාරය පැවතුණු පසුගිය 13 වැනි දින සවස කොමසාරිස්වරයා දැනුම් දීමක් කළා නගර සභාවේ ගිණුම් අංශයේ වැටුප් ලිපිකාරිනිය විසින් මහ පරිමාණ මුදලක් වංචා කර තිබෙන බව.


වැටුප් නිලධාරිනිය වැටුප් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර, එම මුදල් නැවත ලිපිකාරිනිය ලබාගෙන තිබෙනවා කියලා දැනට කෙරෙන පරීක්‍ෂණවලින් අනාවරණය වුණා. එම මුදල ලක්‍ෂ තිස් අටක් පමණ වන බව හඳුනාගෙන තියෙනවා. මුදල ඊට වඩා වැඩි වීමට ඉඩ තිබෙනවා. මුදල් වංචාව වසර දෙකකට වැඩි කාලයක සිට සිදුවන්නට ඇති බවට දැනට සැක කරනවා.


ඒ සම්බන්ධයෙන් නගර සභාවේ කම්කරු පත්වීම් ලැබ සේවය කරන වැටුප් නිලධාරිනිය ඇතුළු කාන්තාවන් තිදෙනකු, පිරිමි සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ වන විට සියලුම දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින්නේ. ඇතුළේ විමර්ශනය කිරීම අවසන් වූ පසුව වංචා කළ මුදල කීයද යන්න අනාවරණය කරගෙන පොලිසියට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.


මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා. මෙම මූල්‍ය වංචාව පිළිබඳව ගණකාධිකාරිවරයාට තමයි මුලින්ම අනාවරණය වී තිබුණේ. ඔහු ඒ පිළිබඳ පරීක්‍ෂා කරගෙන යන අතර වාරයේදී මාසික වැටුප් සකස් කිරීමේදී වංචනික වැටුප් සකස් කරලා වෙනත් ගිණුම්වලට බැර කරවා ගැනීමක් අනාවරණය වී තිබෙනවා.


දැනට මුදල් බැර කරගෙන තිබෙන්නේ වැටුප් සකස් කිරීම භාරව සිටි සේවිකාව. වංචා කර ඇති මුදල නිශ්චිතවම ගණනය කර නැහැ. පරීක්‍ෂණවල ප්‍රගතිය හා වංචාකර ඇති මුදල කීයද කියලා මාධ්‍ය වෙත දැනුම්දීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා යනුවෙන් පැවැසුවේය.


මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගර සභා සේවකයන් පිරිසක් මෙසේ පැවැසූහ. රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉහළ පෙළේ නිලධාරීනුත් මුදල් වංචාවට සම්බන්ධයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon