සසරේ කළ පව අමතක කොට ජීවිතේ ගැට ගහගන්න වෙරදරන සුනිල් සහ චින්තා

  👤  3114 readers have read this article !
By mawbima 2018-07-17

නවතිස්පනේ - ඩී.එම්.ඩී. සිසිර


"අපි දෙන්නා මේ භවයේදී එකතු වෙන්න පින් කරන්න ඇති. ඒත් ශරීරයේ එකම තැනක දරුණු ගණයේ පිළිකාවක් හැදෙන්න තරම් අපි සංසාරේ පවු කරන්න ඇති. පුදුමය කියන්නේ අද වෙන කොට ශරීරයේ එකම තැනක අපි දෙන්නාගේම පිළිකා මතුවෙලා. මගෙත් මගේ බිරියගේත් අපි දෙන්නාගේම බඩවැල ආශි්‍රතව පිළිකාවක් මතු වෙලා. ඒත් අපි දෙන්නා අපේ ආගමට දහමට අනුව ජීවත් වෙනවා. අපි ලෙඩ ගැන කල්පනා කරන්නේ නැහැ. ජීවිතය පිළිබඳව සුබවාදීව හිතනවා" මෙහෙම කියන්නේ ඩී.ජී. සුනිල් බණ්ඩාර මහතායි. මේ ඔහුගේත්, බිරියගේත් ධෛර්ය සම්පන්න ජීවන කතාවයි. දෙදෙනාම පිළිකා රෝගයෙන් පෙළුණද පාසල් බෑග්, අත් බෑග් නිෂ්පාදනය කරමින් සිය ජීවනෝපාය සරි කර ගන්නා ඩී.ජී. සුනිල් බණ්ඩාර මහතා හා චින්තා ප්‍රියදර්ශනී (චම්පා) යන දෙපළ කොත්මලේ හරන්ගල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

වයස අවුරුදු 49ක් වන සුනිල් බණ්ඩාර මහතාගේත් වයස අවුරුදු 43ක් වන චම්පා මහත්මියගේත් බඩවැල් ආශි්‍රතව හටගත් පිළිකාවන් හේතුවෙන් දෙදෙනාම ශල්‍යකර්ම කිහිපයකට භාජනය වී තිබේ. සුනිල් මහතාත් චම්පා මහත්මියත් මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජීවා වීරසිංහ මහත්මියගෙන් ප්‍රතිකාර ලබති. සුනිල් බණ්ඩාර මහතාටත් චම්පා මහත්මියටත් විසි එක් වියැති හා ‍ෙදාළොස් වියැති පුතුන් දෙදෙනකු සිටිති. කුඩා දරුවා හරන්ගල මහ විද්‍යාලයේ ඉගෙනුම ලබයි. සිය අසනීප තත්ත්වයන් හේතුවෙන් කිසිවකුට අත නොපා ජීවත් වීමට මේ දෙපළම කටයුතු කරති.

මහනුවර ප්‍රදේශයෙන් උපාංග මිලදී ගෙනවිත් දෙදෙනාම පාසල් බෑග්, අත් බෑග් ආදිය නිෂ්පාදනය කරනුයේ සිය අසනීප තත්ත්වයෙන් බැට දෙන වේදනාවද අමතක කර දමමිනි. සුව නොවන මෙවන් දරුණු ගණයේ රෝගාබාධවලින් රෝගීන් බොහෝමයක් දෙනා ශාරීරිකව හා මානසිකව පීඩා විඳින අයුරු සමාජයේ දක්නට ලැබේ. එහෙත් මෙම දෙපළ එවන් රෝගීන්ට මහත් ආදර්ශයක් සපයන්නේ ජීවිතයේ යථාවබෝධය මැනවින් අවබෝධ කරගෙන ඇති නිසාවෙනි. පිළිකා රෝගයෙන් ශාරීරිකව කෙතරම් පීඩා වින්ද ද ඔවුන් දෙපළ සමහර දිනවල මධ්‍යම රාත්‍රිය පමණ වන තෙක් නිදි වර්ජිතව සිය කුඩා ව්‍යාපාරයේ නිරත වන බව පවසති. එහෙත් ඔවුනට ඇති එකම ගැටලුව වන්නේ නිසි වෙළෙඳපොළක් නොමැති වීමය. කොතරම් ප්‍රමාණයක් ඉල්ලුම් කළද නිසි වේලාවට එම ඉල්ලුමට භාණ්ඩ නිෂ්පාදනය කිරීමට තමන් දෙපළ සූදානම් බව පවසන චම්පා මහත්මිය තමන්ට සිය කුඩා කර්මාන්තය දියුණු කර ගැනීමට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් සහයෝගයක් ලැබෙන්නේ නම් මීට වඩා සාර්ථකව සිය කර්මාන්තය දියුණු කර ගැනීමට තමන්ට හැකි බව කියයි.


වැඩිදුරටත් අදහස් දක්වන සුනිල් මහතා කියන්නේ තම නිෂ්පාදන අලෙවි කර ගත හැකි ස්ථානයක් හෝ එය වැඩිදියුණු කර ගැනීමට යම් අයකුට හෝ යම් ආයතනයකට තමන්ට උදවු කිරීමට හැකි නම් එය තමන්ටත් තම දරු දෙදෙනාටත් දක්වන උපකාරයක් බවය. එවන් අයෙක් හෝ ආයතනයක් ඇත්නම් තම 0756609865 දුරකථන අංකයට හෝ "රත්මලපිටිය, හරංගලගම, නාවලපිටිය යන ලිපිනයට දැනුම්දීමක් කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon