පුංචි ඡන්දෙන් ගමේ පෙරැළියක් කළේ අපියි

  👤  1735 readers have read this article !
By mawbima 2018-07-16

අද රටේ සමහරු ගම්පෙරළිය ගැන කතා කරනවා. හැබැයි ගම්පෙරළියට ඉස්සර වෙලා ගමේ පෙරළියක් ඇති කළේ ප්‍රාදේශීය සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය අල්ලලයි. ඒ ගමේ අල්ලපු බලය, රටේ බලය අල්ලන්න තබන පළමු පියවර මෙය බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පසුගියදා (14දා) තඹුත්තේගමදී පැවැසීය.


හෙතෙම මේ බව කියා සිටියේ ඉකුත් දින පොදුජන රළ නමින් තඹුත්තේගම, වෙහෙරගල විහාරස්ථානයේ සංවිධානය කර තිබූ රැස්වීමකදීය.
එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.


තෙල් මිල දවසින් දවස ඉහළ දානවා. ඒකට මිල සූත්‍රයක් කියලා එකක් දාගෙන ඒ හැම දෙයක්ම කරන්නෙ. හැබැයි ඔය තෙල් මිල වැඩි කරනව කීවට ඇහැව්වොත් වැඩි කරපු මිල කීයද කියල ඒක කියන්න ඔය නායකයෝ දන්නේ නෑ.


මේ රටට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කළ මහින්ද චින්තන වැඩපිළිවෙළ නිකන් දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි. ඔහු මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, දාර්ශනිකයන්, මහාචාර්යවරු, ගමේ ඉන්න ගොවියා, කම්කරුවා සහ වෘත්තීය සමිති සියල්ලක් සමඟ කතා කරල තමයි මහින්ද චින්තනය නමින් මේ රටට ගැළපෙන වැඩපිළිවෙළක් හැදුවේ. ඒකෙදි තමයි දිවිනැඟුම, ගමනැඟුම, පුරනැඟුම, උතුරු වසන්තය, රජරට නවෝදය, දැයට කිරුළ, නැඟෙනහිර නවෝදය වැඩසටහන් කළේ. ඒ තුළ තමයි ගොවියා දියුණු කරන වැඩපිළිවෙළ තිබ්බේ. ඒ නිසා තමයි ගොවියට රුපියල් 350ට පොහොර දුන්නේ. ඒක හින්දා තමයි එදා රට ස්වයංපෝෂිත වුණේ.


රටේ තිබුණු වැව් 36,000කින් වැව් 18,000ක රොන් මඩ ඉවත් කරලා වැව් නවීකරණය කළේ මේ මහින්ද චින්තනයට අනුවයි. මහින්ද ජනාධිපතිවරයා රට භාර ගන්නකොට කැනඩාවෙන් බඩඉරිඟු ගෙනල්ල රජරට ජනතාවට වගා කරන්න දුන්න වියළි කාලවලදී. ඒ බඩඉරිඟු ගොවියා ගත්ත අස්වැන්නෙන් මෙටි්‍රක් ටොන් 40,000ක් පමණ පිටරටට පවා යැව්වා. නමුත් මේ වන විට බඩඉරිඟු ගොවියට කිසිම සහනයක් නැ. මේ වන විට රටට අවශ්‍ය බඩඉරිඟු පිටරටින් ගේන්න ගිවිසුම් අස්සන් කරලා තියෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන: ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට විකිණෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි අතරමං වෙලයි හිටියේ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ගත්තෙ. පසුගිය දිනක රටේ අගමැතිවරයා කිව්වා පරාක්‍රම සමුද්‍රය හැදුවේ රටේ කුරුඳු විකුණලා කියලා. සමහර විට හෙට අනිද්දා මෙහෙට ඇවිල්ලා කියයි මින්නේරි වැව හැදුවේ ගොරක විකුණලා කියලා.
තලාව - එල්. අනුර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon