ආණ්ඩුවේ දෙවැනි ආර්ථික දිග හැරුම වන්නි හත්පත්තුවෙන් අපි ආරම්භ කළා

  👤  1816 readers have read this article !
By mawbima 2018-07-16

වන්නි හත් පත්තුවට ඇවිත් උදැල්ලක් අරන් වැව හදන්න පළමු පස් පිඩැල්ල කපලා අපේ ආණ්ඩුවේ දෙවැනි ආර්ථික දිගහැරුම ආරම්භ කළා. පළමු අදියරේ කාලය ගත වුණේම රටේ ණයම ගෙවන්න. දැන් දෙවැනි ඇරැඹුම හරහා ගම්වලට ඇවිත් ගම් සංවර්ධනය කරන 'ගම්පෙරළිය' ආරම්භ කරලා තියෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ ඊයේ (15දා) නිකවැරටිය රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'මුඩත්ත' මහ වැව ප්‍රතිස්සංකරණ කිරීමේ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහනේ නිකවැරටිය ආසනයේ පළමු අදියර සඳහා සහභාගි වෙමිනි.


එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
අද ගමේ වැව සංවර්ධනය කිරීමට ගමේ ගොවි සංවිධානයටම භාර දීලා තියෙනවා. ඒ හරහා ගමේ මුදල් ඉතුරු කරගෙන ගමේ ආර්ථිකය දියුණු කළ හැකියි. ඒ හරහා ගමේ පාර, පාසල, වැව, පන්සල සියල්ල දියුණු වෙනවා. එදා තිබුණේ අපි පත්තු කරපු පහන්වලින් සමාගම් කොන්ත්‍රාත්කරුවෝ නිවන් දකින යුගයක්. ඒ නිසයි මේ වැඩසටහනට 'ගම්පෙරළිය' කියලා නම් කරලා තියෙන්නේ. මේ කාලේ ණය ගෙවන්න බදු වැඩි කරන්න වෙලා තියෙනවා. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පව් අපි පිට පැටවීම. අද ඒ තත්ත්වය වෙනස් කරලා. නැව් එන්නේ නැති වරායවල් වෙනුවට නැව් එන වරායවල්ද, ගුවන් යානා එන්නේ නැතිව තිබූ ගුවන් තොටුපොළවල් වෙනුවට ගුවන් යානා එන ගුවන් තොටුපොළවල් අපි ඇති කළා.


අද රටේ හැම තැනකම ආර්ථික මධ්‍යස්ථාන, කර්මාන්ත, පාරවල් ඇති කරලා තියෙනවා. පසුගිය කාලේ නියඟය නිසා කන්න හතරක් වැඩ කරගන්න බැරි වුණ නිසා ආර්ථිකය හොඳටම වැටුණා. මුළු රටේම මුදල් පරිහරණය අද අඩුවෙලා. මේ ප්‍රදේශවලට ජලය ලැබුණත් අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණු නිසා සමහර කුඹුරු ගොවිතැන යම් ප්‍රමාණයකට සීමා වෙලා. ඒ නිසා යළි ගොවියා අතට මුදල් දිය යුතු කාලය උදා වෙලා. ඒ නිසා මේ ගම්වලට වැව් ටික, පාරවල් ටික හදන්න ජපානයෙන්, චීනයෙන්, ආයෝජකයෝ අවශ්‍ය නෑ. මේ ගමේ අයටම මේ ටික කරන්න දීලා ඒ සල්ලි ටික ගමේම ඉතුරු කිරීමයි අපි මේ කරන්නේ. අපි තුන්වැනි අදියරේදී අපනයනය, ආර්ථිකය හැදීමයිය පදනම. ඒ සඳහා විශාල ආර්ථික කලාප ඇති කරලා විදේශ ආයෝජකයන් ලබාගත යුතුයි. ඒ සඳහා යොදා රාජ්‍ය සම්බන්ධතා ඇති කර ගත යුතුයි.


මධ්‍යම අධිවේගී මාර්ගය හරහා බිංගිරිය, මාවතගම වාගේ ප්‍රදේශවල ඉඩම් සහ වෙළෙඳ කලාප ඇති වෙනවා. ඒවා ජනතාවගේ ඉදිරි ආර්ථිකයට හේතුවෙනවා කියලා අපි කියනවා. දැන් තියෙන්නේ දේශපාලන පක්ෂ අමතක කරලා ගමට ගිහින් ගම සංවර්ධනය කිරීමයි. අවුරුදු හතළිහකට කලින් ආරම්භ කරපු සංවර්ධන ක්‍රමය යළි අපි මේ ආණ්ඩුව මඟින් දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා.


ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරනවා. සංචාරක ව්‍යාපාර, ආපනශාලා ආදිය ඒ අතර වෙනවා. ඒ හරහා සංචාරකයෝ මේ රටට ඇදිල එනවා. චීනය දියුණු වුණෙත් ඒ ආකාරයටයි. ඔවුනුත් ගම්වලට උදවු කළා. ඒ තුළින් ඔවුන් ලෝකයම හඳුනා ගත්තා. සමහරු අපිට කියනවා ආණ්ඩු කරන්න බෑ කියලා. කුඩා ව්‍යාපාර ආරම්භ කරලා රැකියා ලක්ෂයක් දෙකක් ලබා දීමට අපිට හැකිවෙනවා. නමුත් අද මාධ්‍ය ගමේ සාර්ථක ව්‍යාපාර ගැන, ගමේ සාර්ථක ව්‍යාපෘති ගැන කතා කරන්නේ නෑ. මාධ්‍යට කියනවා සාර්ථක වෙලා තියෙන ඒවාත් ඔය මාධ්‍යවලින් පෙන්නන්න කියලා.


නිකවැරටිය - රසික කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon