රට හදන වැඩපිළිවෙළට ජවිපෙ නායකත්වය දෙනවා

  👤  1828 readers have read this article !
By mawbima 2018-07-16

දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් අන්තයටම පිරිහී ඇති රට ගොඩනඟන පැහැදිලි වැඩපිළිවෙළ ලබන ජනවාරි සිට අරඹන බවත් ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ජ.වි.පෙ.න් ලබාදෙන බවත් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.


ජ.වි.පෙ. නායකයා පැවැසුවේ අප්‍රිකානු මහද්වීපයේ පමණක් රටවල් 53න් 35කම පවතින්නේ ඒකාධිපති පාලනයක් වුවත් එවැනි ඒකාධිපති පාලනයකින් ගොඩනඟපු කිසිදු රාජ්‍යයක් ලෝකයේ නොමැති බවත්ය.


යම් යම් අංශවලින් රටක් දියුණු කළත් ඒකාධිපති පාලනයක කෙළවර විනාශය පමණක් බැවින් එවැනි පාලනයක් අපේ රටට කිසිසේත්ම අවශ්‍ය නොවන බවද දිසානායක මහතා කීය.
ඔහු ප්‍රශ්න කළේ කප්පම් සිද්ධිවලට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් බේ‍රා්කර්වරු කරන, බැඳුම්කර ගනුදෙනු ගැන අරලියගහ මන්දිරයේ සාකච්ඡා තියෙන මෙවැනි රටක දේශපාලන විප්ලවීය වෙනසක් අවශ්‍ය නොමැතිද යන්නය.


හෙතෙම මේ කරුණු දැක්වූයේ පසුගියදා (14දා) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති 'රට හදන - රට රකින ජනතාවාදී පාලනයක් සඳහා වූ ජාතික විද්වත් කතිකාවකට' එක්වෙමිනි.


මේ කතිකාවට ජ.වි.පෙ. නායකයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී ජ.වි.පෙ. නායකයා වැඩිදුරටත් මෙසේද කීය.


''අද ග්‍රාමීය ජනතාවගෙන් විශාල පංගුවක් ආර්ථිකයේ මිනිස් දුහුවිලි බවට පත්කොට තිබෙනවා. ජාතික ධනය පහළම 10%ට ලැබෙන්නේ 1.1%යි. ඉන් ඉහළම 10% ජාතික ධනයෙන් 38.4%ක් භුක්ති විඳිනවා. ආර්ථිකයේ සාධාරණ පංගුව පහළ ග්‍රාමීය ජනතාව වෙත ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේම ඒකපුද්ගල ආදායම ඩොලර් 4,300ක් වුවත් ජනගහනයෙන් 42%ක දෛනික ආදායම ඩොලර් 2ට අඩුයි. එම නිසා ආර්ථික දේහයට සාධාරණත්වය කැඳවාගෙන ආ යුතු නැද්ද? ඒ වගේම ජනතාව දැවැන්ත ණයගැතිභාවයක හිරකොට තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම සියදිවි නසාගැනීම ණයගැතිභාවය නිසා බවට වාර්තා වෙනවා. මෙම ජනතාව ණයගැතිභාවයෙන් මුදා ගන්නේ කොහොමද? නිවාසවලින් 10%ක් වර්ග අඩි 250ට වඩා අඩුයි. එවැනි ගෙයක පවුලක් ජීවිතය ගත කරන්නේ කොහොමද? සෞඛ්‍ය අනාරක්‍ෂිතභාවයට පත්වෙලා. ඒ නිසා ආර්ථිකයේ සාධාරණත්වයේ දිශාවට නඟාසිටුවිය යුතුව තිබෙනවා.


අපේ සමාජයේ ඛේදවාචකයට ලක්වෙලා. සියදිවි නසාගැනීමේදී ලෝකයේ හතර වැනි ස්ථානය ලංකාව. රු. 25,000ට වැඩි මුදල් මංකොල්ලකෑම් 2017 වසරේ 4,000ක් සිදුව තිබෙනවා. අවුරුදු 20ට වඩා අඩු දරුවන් එක්දහස් තුන්සිය ගණනක් කවර හෝ ලිංගික අපහරණයකට ලක්වී තිබෙනවා. කුමන හෝ අනතුරකට පත්විය හැකි භයානක තත්ත්වයක අපි අද ජීවත් වෙමින් සිටිනවා. එය වෙනස් කළ යුතු නැද්ද? සමාජ ජීවිතය පුළුල් පරිවර්තනයකට ලක්කළ යුතුව තිබෙනවා.


අපේ ආනයන, අපනයන වෙළෙඳපොළේ විශාල කඩාවැටීමක් තිබෙනවා. ආනයන සඳහා අපිට ඩොලර් බිලියන 21ක් වැය වෙනවා. අපනයනයෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 11යි. 100%ක රාජ්‍යයක්. කොළඹ වරාය ලෝකයේ වරායවල්වලින් 26 වැනි ස්ථානයේ තිබෙනවා. භාණ්ඩ හුවමාරුවේදී ලෝකයේ රටවල් අතර 12 වැනි තැන අපි ඉන්නවා. ඒ අපේ රටේ පිහිටීම අනුවයි. ඒ වගේම අපේ රටේ මානව සම්පත් අපිට ඉතාම වාසිදායකයි. මේවා ප්‍රතිසංවිධානය කොට ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? කියන කාරණය හරියටම තේරුම් ගත යුතුයි.


අද අපේ රටේ ජනප්‍රියතම දේශපාලනය ජාතිවාදයයි. රටේ සමහරු සිංහල ජාතිවාදී චණ්ඩියෙක් ඉල්ලනවා. නමුත් ඉන් අපේ රටට අත්කරගත හැකි ප්‍රතිඵලය කුමක්ද? ජාතික සමඟියේ දිශාවට අපේ රට පරිවර්තනය කළ යුතුව තිබෙනවා.


අපේ රට අද ආර්ථික අතින් බෙලහීනතාවට පත්වෙලා. අද අපේ රටේ නායකයන් වෙනත් රටවල් විසින් මිලට ගන්න තත්ත්වයට පත්වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීන සමාගමක් විසින් මිලදී අරගෙන තිබෙනවා. ඔහු එය ප්‍රතික්‍ෂේප කරලා නැහැ. අපි පාර්ලිමේන්තුවේදී හුවමාරු වුණු චෙක්පත්, මුදල් මාරු කරපු පුද්ගලයන් මේ සියල්ල හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙළෙඳ ගිවිසුම්, බහුජාතික සමාගම්වල වුවමනාවට ගොඩනැඟෙනවා. බදු පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු අනුව සකස් වෙනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් පරාධීන රාජ්‍යයකට නිදහසක් කොහෙද? ඒ වගේම ව්‍යාජ දේශප්‍රේමය පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා නැවත අපේ රට ආර්ථිකයේ, දේශපාලනයේ, සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් තිබෙනවා. අපි වැඩපිළිවෙළ හදමු.''


ප්‍රවීණ ලේඛක, සාහිත්‍යවේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති,
''මීට පෙර අපි විශේෂ අවස්ථාවකට දේශපාලනයේදී සම්බන්ධ වුණා. ජාතිය, ස්ත්‍රී - පුරුෂ භාවය වගේ කිසිම ප්‍රශ්නයක් අදාළ නොවන ලංකාවේ සියලු දේශපාලන අනන්‍යතා අතහැර ප්‍රගතිශීලී සියලු දේශපාලන බලවේග එකතු කරන්න පුළුවන් රූපකායක් හැටියට 'වතුර' ගන්න අපිට සිද්ධ වුණා. හරිත පැහැය පිළිබඳ ප්‍රශ්නය, ධරණීය සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නය, මනුෂ්‍ය වර්ගයා සහ සොබාදහමට එකට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය විවිධ ස්වරූපයෙන් අපේ රටේ ඇති වී තිබෙනවා. මනුෂ්‍ය දරුවන් කුසගින්නේ මිය යනවා නම් ඒක අපරාධයක් බව අපි කතා කළා. මනුෂ්‍යයන් කරන ඇතැම් සංවර්ධන ක්‍රියා මඟින් පරිසරය විනාශ වුණත්, මිහිමත පරිසරය ආරක්‍ෂා කරන්න පුළුවන් එකම සත්ත්වයා මනුෂ්‍යයා. 'උමාඔය' සටනේදී අපි ජනතාව ආමන්ත්‍රණය කළේ එහෙමයි. අපේ ඒ ලස්සන කතා අහලා ජනතාව ඒ පළාතෙන් සොයා ගන්න පුළුවන් හොඳම හොරු ටික තෝරගත්ත බව අපි දන්නවා.


ඒත් අපි අධෛර්යවත් වුණේ නැහැ. ඒ මැතිවරණයෙන් පස්සේත් පසුගිය කාලේ පුරාම මගේ එක අතක් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ එකතුවෙන් හැදුණු දැවැන්ත අත් පවුරේ. ඒ අත තවම එතැනමයි. එදත් අදත් මගේ අනෙක් අත නිදහස්ව තියාගෙන ඉන්නවා. මේ සටන්වලට කැමැති සාධාරණ, යුක්තිගරුක රටක් ගොඩනඟන්නට කැමැති තවත් අයට අත වනලා එන්න කියන්න. ජන පවුරේ තියෙන මගේ අත අත් නොහැරම අනෙක් අතින් මම ජනතාවට අත වනන්නේ අලුත් ලංකාවක් ගොඩනඟන්න එන්න කියලා.


මෙතෙක් මේ වේදිකාවේ ඇසූ ඒ මිහිරිතම කතාව කළේ මහාචර්ය යෝගරාජා සහෝදරයා. ඒ කතාවේ වචන මනුෂ්‍යත්වයේ වචන, ඉවසිලිවන්ත භාවයේ වචන, සන්සුන්කමේ වචන, ප්‍රඥාවේ වචන, දුරදක්නාභාවයේ වචන. මගේ නිදහසේ තිබෙන අත සහෝදර යෝගරාජාව ඉතාම ආදරයෙන් ස්පර්ශ කරනවා. අපි සිහින දකින ලංකාවට අවශ්‍ය සංස්කෘතික මනුෂ්‍යයෙක් බිහි කරන්න කලාව භාවිත කරන්න පුළුවන් කොහොමද කියලා අදහස් කිහිපයක් කියන්න කැමැතියි. අපි ඔක්කොම සීමාසහිත මිනිස්සු. ඒ නිසා කලාව, සංස්කෘතිය සම්බන්ධයෙන් අවසන් නිර්වචනයක් මා සතුව නැහැ. නමුත් අපි කවුරුත් එකතු වෙලා සම්පූර්ණ කළ හැකි කතිකාවක ආරම්භක වචන කිහිපය විතරක් මට කියන්න පුළුවන්. ඒ නිසා ඒ සංවාදයට එකතු වෙන්න කියලා මම මේ රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.''


කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය,
මේ සමාජය පුදුම කලකිරීමකින් ඉන්න බව මිනිසුන් එක්ක කතා කරන කොට තේරෙනවා. 'දැන් මොකක්ද අපි කරන්නේ? ඊළඟට මොකක්ද වෙන්නේ? වගේ ප්‍රශ්න අහන හැමෝගෙම තිබෙන්නේ අපේක්‍ෂාභංගත්වය සහ කලකිරීම, 'වැඩක් නෑ. හදන්න බෑ. මොනවා කළත් මේකම තමයි' වගේ වචන පිටවෙන්නේ. ඔය වගේ පසුබිමක. මිනිසුන්ගේ කලකිරීම ඉතාමත් භයානක බවයි මම දකින්නේ.


අපි මේ ඉන්නේ ෆැසිස්ට්වාදය කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා මුට්ටිය දාලා බලන කාලයක. ෆැසිස්ට්වාදය ට්‍රයල් එකක් වගේ කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? කියලා ආජන්ටිනාවේ පත්තරයක ලිපියකින් සාකච්ඡා කර තිබුණා. සාමාන්‍යයෙන් ගත්තාම මිනිස්සු කියන්නේ හොඳ අය. අපි මේක හුඟක් වෙලාවට අමතක කරනවා. සහජ හොඳ ගති මිනිස්සු ළඟ තිබෙනවා. කරුණාවන්තයි. සංවේදීයි. එකමුතුව වැඩ කරන්න ආශාවක් තිබෙනවා. මිනිසුන්ගේ නිදහස, විමුක්තිය, කරුණාව වගේ ගුණාංග ලේසියෙන් අතාරින්නේ නැහැ. මේ තත්ත්වයන් වෙනස් කරලා වෙනම තත්ත්වයක් හදලයි ෆැසිස්ට්වාදය ගේන්න වෙන්නේ කියලා ලිපියෙන් කියනවා. අපි මේ ඉන්නේ එහෙම මිනිස්සු හදන කාලයක බව ලිපියෙන් විග්‍රහ කරනවා. ඒ වගේම මිනිස්සු හදන්න කරුණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕන බව සඳහන්.


අපිව බය කරන, අපිට තර්ජනය කරන හතුරෙක් මවන්න ඕන බව එක සාධකයක්. අපිට වඩා වෙනස් ජාතීන් හතුරන් බව එත්තු ගන්වලයි ඒ තුළින් ඇති වෙන බයත් එක්ක මිනිසුන්ගේ කෘෘරත්වය අවදි කරන්නේ. දෙවැනි කාරණය කෘෘරත්වයට මිනිස්සු පුරුදු කරවීම, මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියපු එකට මිනිස්සුන්ගේ මොනවගේ ප්‍රතිචාරයක්ද එන්නේ කියලා බලනවා. කෘෘරත්වය පුරුදු කිරීම මේ වගේ ක්‍රමවලිනුත් අත්හදා බලනවා.


ලිපියෙන් අවධාරණය කරන තව දෙයක් තමයි ෆැසිස්ට්වාදය ගෙනයන්න ලොකු පිරිසක් අවශ්‍ය නොවන බව. සියයට තිහක් හතළිහක් හිටියාම ඇති. මේ ආටිකල් එක ලංකාව ගැන නොවුණාට කියවන කොට මට ලංකාවමයි මතක් වුණේ. බි්‍රතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් අසූ ගණන්වල කිවූ කතාවක් මට මතක් වෙනවා. 'සමාජය කියලා දෙයක් නෑ. ඉන්නේ තනි පුද්ගලයෝ. ඒ පුද්ගලයන්ගේ පවුලක් ඉන්නවා. එච්චරයි' කියලා තැචර් කිව්ව දේ සාර්ථකව අද අපි අත්විඳිනවා. අන්තර් සම්බන්ධතා තියෙන සමාජයක නොවෙයි දැන් ඉන්නේ. අන්තර් සම්බන්ධතා රැකගත්ත ව්‍යුහයන් විනාශ වෙච්ච යුගයක අපි මේ ජීවත් වෙන්නේ.


"මේ රට ගොඩනඟන්න පුළුවන්" කියන බලාපොරොත්තුව සහ විශ්වාසය සහිත සිහිනයක් මිනිසුන්ට දෙන එකයි අපේ වගකීම විය යුත්තේ. සිහිනයක් නැතිව මිනිස්සුන්ට ජීවත් වෙලා වැඩක් නැහැ. අද අපිට ඒ සිහින දෙන්න නායකයෝ නැහැ. අපි ජ.වි.පෙ.න් වුණත් බලාපොරොත්තු වෙන්නේ එහෙම නායකත්වයක්. එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන එකක් නොවෙයි. අපේ සිහිනයට නායකයෝ අවශ්‍යයි. අපි බලාපොරොත්තු වන විකල්පය තදින් අවධාරණය කරන්න හැකිවිය යුතුයි.


අපේ රටට වෙලා තිබෙන ලොකුම වින්නැහිය ආර්ථික විද්‍යාවෙන් අපිව පාලනය කරන්න යෑම කියලයි මම හිතන්නේ. අපේ හැම තීරණයක්ම ගන්න වෙලා තියෙන්නේ ආර්ථික විද්‍යාවේ නීතිය අනුව. මේ සමාජයට ආර්ථික විද්‍යාව විතරක් මදි බව අපි තේරුම් ගන්න ඕනි. ආර්ථික වර්ධනයෙන් අපි මේ කියන ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න බැහැ.
මහාචාර්ය එස්.ජේ. යෝගරාජා,


ජාතික සමඟිය ගැන කතා කරන විට අනෙකුත් ජාතීන් අතර අනන්‍යතාව පිළිගැනීම අනිවාර්යයක්. අනෙකුත් ජාතීන් ඇති බව පිළිනොගෙන ජාතික සමඟියක් ගැන කතා කළ නොහැකිය. පළමුවැනි කරුණ තමයි අතීතයේ සිදුවූ අමිහිරි අත්දැකීම් පිළිබඳව සංවාදයක් ඕනෑ. ඇතුළේ තියෙන දේවල් එළියට ගන්න ඕනෑ. අපි වැරැදි කරලා තිබෙනවා නම් ඒවා පිළිගන්න ඕනෑ. දෙක, සමාව ඉල්ලන්න ඕනෑ. සමාව දෙන්න ඕනෑ. එසේ නොමැතිව අපිට නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.


අපේ විශ්වවිද්‍යාලයේ මා නියෝජනය කරන අංශයේ විෂයයන් තුනක් උගන්වනවා. එක
විෂයක් භාරව හිටියේ මම. නමුත් මම එම අංශයේ ප්‍රධානියා වුණාට පස්සේ මම හැම දෙනාටම පොදු කෙනෙක් වුණා. ඒ ආකල්පයම අපේ රටට ආදේශ වෙන්න ඕනෑ. අපේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්‍ෂ නායකතුමා ගත්තාම ඔවුන් පිළිබඳව මුළු රටේම නායකයන් ලෙස හැඟෙනවාද? එසේ නැතිනම් මගේ පක්‍ෂයට, මගේ ජාතියට නායකයා කියලා හැඟෙනවාද? ඒ නිසා අපි ගොඩනැඟිය යුතු වන්නේ ජාතික නායකයෝ. ජාතීන්ගේ නායකයෝ නොවේ. ඉන්දියාවේ සුළු ජාතික නායකයෙක් රටේ නායකයා බවට පත්වුණා. ඒ වගේම අපේ ආකල්ප උසස් වෙන්න ඕනෑ. ඒ සඳහා කුඩා කල සිටම ආකල්ප දියුණු කළ යුතුයි. එසේ නොමැතිව එකමුතුකම ඇති වෙනනේ නැහැ. ඒ වගේම එකිනෙකා අතර තිබෙන බය හා සැකය නැති කර ගන්න ඕනෑ. එක එක ජාතීන් හැසිරෙන ආකාරය, ක්‍රියාකරන ආකාරය අනෙක් ජාතීන්ට බිය හෝ සැකය නොගෙන ආ යුතුයි.


ඊළඟ වැදගත් කාරණයක් වන්නේ නම්‍යශීලී බවයි. ඒ වගේම අපි ආධ්‍යාත්මිකත්වය දියුණු කරන්න ඕනෑ. බොහෝ අය හිතනවා වත්පිළිවෙත් තමයි ආධ්‍යාත්මිකත්වය කියලා. අධ්‍යාත්මිකත්වය වර්ධනය වීමට ආදරය කිරීමේ හැකියාව, සමාව දීමේ හැකියාව, සරල චාම් ජීවිතය, බදා නොගෙන බෙදා ගැනීමේ හැකියාව, යුක්තිය, සාධාරණත්වය ඉටු කිරීම, සමානාත්මතාව තිබියි යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon