ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉදිරියේ අප්‍රිකානුවන්ගේ තරු ගැලැවෙයි

  👤  1741 readers have read this article !
By mawbima 2018-07-16

සිරිනාම රාජපක්‍ෂ

ලොව 2 වැනි තැනට පත්ව සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යමින් ගාල්ලේදී පසුගිය සෙනසුරාදා (14දා) නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 278ක පරාජයක් වැලඳ ගත් අතර දිල්රුවන් පෙරේරා දඟ පන්දුවෙන් තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනිණි. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 287ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම 126කට සීමා කිරීමෙන් පසුව දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ සියලු දෙනා 190 කට දවා ගන්නට ප්‍රතිවාදීන් සමත් වුවද ජයග්‍රහණය සඳහා 352ක ඉලක්කයක් සහිතව සෙනසුරාදා දිවා භෝජනයට මිනිත්තු 10කට පමණ පෙර 2 වැනි ඉනිම ඇරැඹූ අප්‍රිකානුවන් ඉන් පැය එකහමාරක් ගතවෙත්ම ලකුණු 73කට දැවී ගියේ ශ්‍රී ලංකාවට එරෙහිව 14 වැනි ටෙස්ට් පරාජය සටහන් කරමිනි.


රංගන හේරත් ටෙස්ට් තරග 91කදී කඩුලු 423ක් ලබා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර 9 වැනි තැනට පත්වූ අතර දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් තරග 87කදී කඩුලු 421ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ 10 වැනි තැනට පත්වෙමින් දකුණු අප්‍රිකානුවන් අතර පළමු තැනට පත්වූයේ මින් පෙර එම ස්ථානයේ සිටි ෂොන් පොලොක් හා සම තැන ගනිමිනි. කෙසේ වෙතත් හේරත්ගේ හා දිල්රුවන්ගේ දක්‍ෂ දඟපන්දු යැවීම් හමුවේ අප්‍රිකානු පිලේ 2 වැනි ඉනිමේදී ප්‍රමුඛ පෙළ පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 36ක් තුළ දැවී ගිය අතර මුළු තරගයේදී ලකණු 78ක්දී කඩුලු 10ක්ම දවා ගත් දිල්රුවන් අභිභවා දිමුත් කරුණාරත්න තරගයේ වීරයා වූයේ තරගය පුරා එකම ශතකයට හා අර්ධ ශතකයට හිමිකම් කියමින් කළ දක්‍ෂතා නිසාය.


ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එක් ඉනිමක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගත්තද දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඉනිම දෙකේදීම කඩුලු 20ක්ම අහිමි කර ගනිමින් ලබා ගත්තේ ලකුණු 199ක් පමණි. 2 වැනි ඉනිමේ ලකුණු 10ක් පසුකිරීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනකු පමණක් වන අතර ඔවුන්ගෙන් ඉනිම දෙකේදීම ලකුණු 20 පසුකර යෑමට සමත් වූයේ වර්නන් පිලැන්ඩර් පමණි. ලකුණු ලබා ගැනීම සඳහා පහරවල් තෝරා ගැනීමේදී සිදුකළ වරද මෙන්ම පිතිකරණයේදී ඉවසීමකින් තොරව කටයුතු කිරීමද ගාල්ල තණතීරුව ඉදිරියේ මෙවන් ඓතිහාසික පරාජයක් දකුණු අප්‍රිකානුවන් උරුම කරගැනීමට ප්‍රධාන හේතුව වූ අතර දිමුත් හැර ශ්‍රී ලංකා පිතිකරුවන්ද අසාර්ථක විය.
ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon