බෙල්ජියම වසර 88ක පාපන්දු ඉතිහාසය වෙනස් කරයි

  👤  1739 readers have read this article !
By mawbima 2018-07-16

වසර 88ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මේ දක්වා ලබාගත් ඉහළම ජයග්‍රහණය සටහන් කිරීමට බෙල්ජියම පසුගියදා (14දා) සමත් වූයේ රුසියාව සත්කාරකත්වය හොබවන මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා වූ තරගයේදී එංගලන්තයට එරෙහිව ගෝල 2-0ක ජයක් වාර්තා කරමිනි. 1986 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී සිවුවැනි ස්ථානය හිමිකරගැනීමට බෙල්ජියම සමත් වීම මීට පෙර ඔවුන් ලබාගෙන තිබූ ඉහළම ජයග්‍රහණය ලෙස සැලකේ.


එම පරාජයත් සමඟ එංගලන්තයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වෙන්නට සිදුවූ අතර ඔවුන් 1990 වසරේ පැවැති පාපන්දු ලෝක කුසලානයේදීද සිවුවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.


සා.පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගය ආරම්භ වූ මොහොතේ පටන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ බෙල්ජියම් කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා වූයේ සිවුවැනි විනාඩියේදී බෙල්ජියම් ක්‍රීඩක නේසර් චැඩ්ලි එල්ල කළ පහරක් එම කණ්ඩායමේ තෝමස් මියුනියර් එංගලන්ත ගෝලය දෙසට හරවා යැවීමත් සමඟයි. එම පහරත් සමඟ මෙවර තරගාවලියේදී බෙල්ජියම වෙනුවෙන් ගෝල ලබාගත් 10 වැනි ක්‍රීඩකයා වන්නටද තෝමස් මියුනියර් සමත් විය.


තරගයේ 23 වැනි විනාඩියේදී එංගලන්ත නායක හැරී කේන් ගෝලයක් ලබාගැනීමේ උත්සාහයක නිරත වුවත් එය ව්‍යර්ථ වූ අතර 35 වැනි විනාඩියේදී බෙල්ජියම් ක්‍රීඩක ටෝබි ඇල්ඩවියරල්ඩ් ගෝලයක් ලබාගැනීමට දැරූ උත්සාහයත් අසාර්ථක විය. වෙනත් කිසිදු ගෝලයක් වාර්තා නොවීම හේතුවෙන් පළමු භාගය නිමා වන විට ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගන්නට බෙල්ජියම සමත් විය.


දෙවන භාගයේදී නොහොත් තරගයේ 70 වැනි විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක එරික් ඩයර් බෙල්ජියම් දැල ආක්‍රමණය කරමින් එල්ල කළ ප්‍රහාරයක් දැල් රකින්නාට නතර කර ගැනීමට නොහැකි වුවත් එය දක්ෂ ලෙස ගෝලයෙන් ඉවතට හරවා යවන්නට බෙල්ජියම් කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු වන ටෝබි ඇල්ඩවියරල්ඩ් සමත් වීම කැපී පෙනුණි. ටෝබි එසේ ක්‍රියාත්මක නොවුණි නම් එරික් ඩයර්ගේ ප්‍රහාරය තරගයේ ප්‍රතිඵලයට නිසැකවම සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවට තරග විස්තර විචාරකයෝ පවා පෙන්වා දුන්හ. තරගයේ 80 වැනි විනාඩියේදී තෝමස් මියුනියර් යළිත් එංගලන්ත දැල වෙතට ප්‍රහාරයක් එල්ල කළද එම ප්‍රහාරය දැල් රකින ක්‍රීඩක ජෝර්ඩ්න් පික්ෆොර්ඩ් විසින් දක්ෂ ලෙස වළක්වන ලදී. 82 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ නායක ඊඩ්න් හසාඩ් ගෝලයක් ලබාගැනීමත් සමඟ ජයග්‍රහණය තමන් වෙතටම හරවා ගන්නට බෙල්ජියම සමත් විය.


කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී තරග 7කට ක්‍රීඩා කරමින් ගෝල 16ක් ලබාගෙන ඇති බෙල්ජියම වැඩිම ගෝල ලබාගෙන ඇති කණ්ඩායම බවටද පත්ව ඇති අතර, ඔවුන් මූලික වටයේ තරගවලදී 'ජී' කාණ්ඩයෙන් තරග වැදුණි. එහිදී පැනමාව ගෝල 3-0ක් ලෙසත්, ටියුනීසියාව ගෝල 5-2ක් ලෙස හා එංගලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් අපරාජිතව අවසන් කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබාගන්නට බෙල්ජියම සමත් විය.


අවසන් කණ්ඩායම් 16 වටයේදී ජපානය ගෝල 3-2ක් ලෙසත් අර්ධ අවසන් පූර්ව වටයේදී ලෝක ශූර බ්‍රසීලය ගෝල 2-1ක් ලෙසත් පරාජය කරන්නට බෙල්ජියම සමත් වුවත් අවසන් පූර්ව වටයේදී ප්‍රංශය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය විය.


තවද එංගලන්ත කණ්ඩායමේ නායක හැරී කේන් ගෝල 6ක් සමඟින් මෙවර තරගාවලියේ වැඩිම ගෝල රැස්කරගෙන ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි.
මේ අතර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර සහ තරගාවලිය ආරම්භ වීමෙන් අනතුරුව සිදුකරන ලද සියලුම තහනම් උත්තේජක පරීක්ෂණයන්ගෙන් කිසිදු ක්‍රීඩකයෙක් තහනම් උත්තේජක ලබාගත් බවට සඳහනක් නොමැති බව ෆිෆා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon