විධායකය හා ව්‍යවස්ථාදායකය අතර කඹ ඇදිල්ලෙන් රට අරාජික වෙලා -- බලලෝභීන් රටට කළ අනර්ථය ආපසු හැරවීමට 20 සම්මත කළ යුතුයි

  👤  3399 readers have read this article !
By mawbima 2018-07-16

පසුගිය 13 වැනිදා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ජාතික භික්‍ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලද 'රට වෙනුවෙන් සම්මත කළ යුතු 20' මැයෙන් පැවැති සඟ සමුළුවේදී කළ දේශන ඇසුරිනි.

කුණු දේශපාලකයන් විසින් ඉතිහාසයේ සිට කළ අප්‍රමාණ ව්‍යසනකාරී තත්ත්වයන් නැති කිරීමට 20 වැනි සංශෝධනය සම්මත කළ යුතු බවයි. බලලෝභීන් මේ රටට කළ අනර්ථය යථාස්ථායට පත් කිරීමට භික්‍ෂුව කැපවීමෙන් කටයුතු කළ යුතුයි. රටේ සිදුවන නාස්තිකාරී තත්ත්වයන් පිළිබඳ භික්‍ෂුන් වහන්සේ රට දැනුවත් කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය ධර්ම, විනය හා ඥානය ලබාදීමට පාලකයන් සූදානම් නැහැ.

විධායක ක්‍රමය විසින් මේ රටට කර ඇති විනාශය තේරුම් ගත යුතුයි. ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම ඒක දැනෙනවා. අද සිවුරු පොරවාගත් අය ප්‍රාණඝාතය කරනවා. හොරකම් කරනවා. කාම මිථ්‍යාචාරය කරනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම රටත් රවටනවා. මේ නිසා භික්‍ෂුව අද හෑල්ලුවට ලක්වෙලා.

භික්‍ෂුව නිවැරැදි ලෙස තමන්ගේ සාම්ප්‍රදායික ඥාන සම්භාරය හා විනය යොදා ගන්නවා නම් භික්‍ෂුවට පුළුවන් විශාල සමාජ පරිවර්තනයක් කරා ගමන් කරන්න. නමුත් මේ සමාජ බලය භික්‍ෂුවට හරියට පාවිච්චි කරන්න බැරි අවශ්‍ය කරන ශික්‍ෂණයත්, නිවැරැදි ඥාන සම්භාරයත් නැතිකම නිසයි. ධර්මයක් නෑ, විනයක් නෑ. එබඳු භික්‍ෂුවක් සමාජ බලය පාවිච්චි කරන්නේ කොහොමද? ඒ නිසයි මිනී මරන්නේ. ධර්මයටත් විනයටත් අඩංගු නැති, සිවුරු පොරවාගත් කෙනෙක් සම්පූර්ණ සමාජය විකෘති කරන මට්ටමට හැසිරෙනවා. කවුද මේකට වගකියන්නේ? මේක නිර්මාණය වෙන්නේ රටේ ඒකාධිපතිත්වය තුළ. මෙය සරලව කල්පනා කළ යුතු තත්ත්වයක් නෙවෙයි. හරියට වටහා ගත යුතුයි. ඒකාධිපතියන් විසින් භික්‍ෂුව දඩමීමා කරගෙන ගෙන යන ව්‍යාපාරය අඳුනාගන්න ඕනෑ. භික්‍ෂුන් වහන්සේට දෙන වරදාන අඳුනාගන්න ඕනෑ. වරදානත් එක්කයි භික්‍ෂුව දේශපාලකයාත් සමඟ ගැට ගැහෙන්නේ.

භික්‍ෂු සමාජයේ සිවුරු පොරවාගත් අයගේ ක්‍රියාකාරකම් නිසා අද අපට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ගනින්නාසේලාගේ සමාජ ක්‍රමයකටයි මේ ගමන් කරන්නේ. ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.

රටට අවශ්‍ය ඒකාධිපතියෙක්ද? ජන සම්මතවාදී පාලනයක්ද කියලා තර්ක කරන්න අවශ්‍යද? මේක තේරෙනවා. ඒ සියල්ල යටපත් කරගෙන ආත්මලාභය උඩට එනවා. තමන්ට යමක් ලැබෙන ක්‍රමය තෝරනවා. බුදු හාමුදුරුවෝ සඳහන් කළා තෘෂ්ණාව විසින් ආත්මය නාස්ති කරන බව. ලාභ සත්කාර හරිම දරුණුයි. ලාභ කීර්ති ප්‍රසංසා විසින් ආත්මය නසන තරමටම භික්‍ෂුව විකෘති කරනවා.

1956 සිට මේ වනතුරු භික්‍ෂු කතිකාවත සම්මත කරගන්න බැරි වුණා. භික්‍ෂු කතිකාවත අනුව සංඝාධිකරණයට පුළුවන් භික්‍ෂුවගේ දුරාචාර නවත්වන්න. භික්‍ෂු කතිකාවත සම්මත කරන්න මේ පාලකයෝ ඉඩ දෙන්නෙත් නෑ. කොහේ හෝ භික්‍ෂුවක් අල්ලාගෙන ඔබ වහන්සේ නඩුවක් දාන්න කියනවා. ඉතින් මේ මෝඩ සංඝයා වහන්සේ දානව නඩුවක්. භික්‍ෂු කතිකාවත යට යනවා. එහි ආණ්ඩුවේ දඬුවම් නෙවෙයි තියෙන්නේ. විනය දඬුවම් තියෙන්නේ. මේකට ඉඩ දෙන්නේ නෑ. මේ අයව තියාගන්න ඕනෑ යම් යම් දේ ඉදිරියේ භික්‍ෂු සමාජය සම්පූර්ණයෙන්ම නිහඬ කරවන්න. ඉතිහාසයේ සිට සිදුවුණේත් ඒකයි.

ඒකාධිපතිත්වය විසින් ඇති කරපු ව්‍යසනකාරී ඉතිහාසය අපට මතකයි. අද කාන්තාවන් මරලා වැවට දානවා. පොලිස් රාලහාමිගේ බෙල්ල මිරිකනවා. දරුවකුට පාරේ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද? සැබෑ භික්‍ෂුව මේවාට වගකියන්න ඕනෑ නෑ. වගකිව යුත්තේ සිවුරු පොරවාගත් කණ්ඩායම්. ඒ වගේම භික්‍ෂුවගේ කෑදරකම් පාවිච්චි කර මේ සමාජය විකෘති කරන්න දායක වුණු දේශපාලකයන්ද මෙයට වගකිව යුතුයි.

20 එපා කියලා ඒකාධිපතිත්වය හොඳයි කියලා කවුද රැස් වුණේ. කවුද ඒ ජාතික සමඟිය නැති කරන්න එකතු වෙන්නේ? කවුද ඒ ආගමික සහජීවනය නැති කරන්න එකතු වෙන්නේ? ඒ මානව ගරුත්වයට නිගරු කරන්න එකතු වෙන්නේ? ඒකාධිපතිත්වය හොඳයි කියලා සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. භික්‍ෂුව නොමඟ යවනවා.
දසරාජ ධර්මය මන--කල්පිතයක් නෙවෙයි. එහි තිබෙන්නේ මනුෂ්‍යත්වය ගරු කරන මානව අභිමානය රැකෙන පාලකයා සහ පාලිතයා අතර පිය පුතු සම්බන්ධයකින් කටයුතු කරන වටපිටාවක් නිර්මාණය කරන දර්ශනයක්.

දාන සීල පරිත්‍යාගය ගැන එහි කතා කරන්නේ. පරිත්‍යාග කියන්නේ ආත්මසුඛහරණය. දැන් පරිත්‍යාගය කියන්නේ ආත්ම සුඛහරණයද? නැහැ. ආත්ම සුඛ උත්කර්ෂණය. මේක තමයි පෝෂණය කරන්නේ. කාමභෝගී ජීවිතයට අදාළව රටේ සියලුම වස්තුව පරිහරණය කරනවා. අද දසරාජ ධර්මය තියා පංචසීලයවත් නැති සමාජ තත්ත්වයකුයි නිර්මාණය වෙමින් යන්නේ. එහි අනිසි ප්‍රතිවිපාක අපි භුක්ති විඳිමින් සිටිනවා.

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන්:
20 වැනි සංශෝධනයේ මූලික කාරණා කීපයක් දෙස බලන්න පුළුවන්. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණය යන අංශ තුන අතර පැවැතිය යුතු පරතරය හා සබඳතාව 20 වැනි සංශෝධනය තුළින් විග්‍රහ කර තිබෙනවා. මෙය බලය සංවරණය කිරීම හා තුලනය කිරීම කියලා දේශපාලන විද්‍යාවේදී හඳුන්වා දෙනවා. මෙරට පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ යන මැතිවරණ ක්‍රම දෙක විසින් දෙවරකදී ලබාදෙන ජනතා පරමාධිපත්‍ය එකිනෙකට විරුද්ධයි. එම නිසා එම වරද නිවැරැදි කොට එකම ජනතා පරමාධිපත්‍යයකින් බලයට පැමිණෙන පාර්ලිමේන්තුවක් හා ජනපතිවරයා තෝරා ගැනීමට මෙම සංශෝධනය යෝජනා කරනවා. එම නිසා 20 වැනි සංශෝධනය විසින් 1978දී ඇති කළ ව්‍යවස්ථාවේ පවතින ප්‍රධානතම දෝෂයක් වන ද්විත්ව ජනවරම සංශෝධනයට යෝජනා කරනවා. එය ඉතා යහපත් දෙයක්.

20 වැනි සංශෝධනය හරහා සිදුවන වැදගත් දේ වන්නේ එමඟින් පාලන ක්‍රමයක් තුළ පැවැතිය යුතු ඍජුභාවය හා මෘදුභාවය අතර වඩාත් තුලනාත්මක සබඳතාවක් නිර්මාණය කිරීමයි. විධායක ක්‍රමයට එරෙහිව විවේචන එල්ල කරන ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි බුද්ධිමතුන් පෙන්වා දුන්නේ විධායක ජනාධිපති කියන්නේ දැඩි බලයක් මුදාහරින ආඥාදායකයෙක් කියලා. ආඥාදායක පාලනයක් යනු බෞද්ධ දර්ශනය හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය හෝ විමුක්තිකාමී වාමාංශික දේශපාලන දර්ශනය විසින් ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයක්. එම නිසා හිට්ලර් නැති නම් මුසලෝනි වැනි පාලකයකු බවට අවශ්‍ය මොහොතකදී පරිවර්තනය වීමට ඇති හැකියාව සහිත ව්‍යුහාත්මක බලයක් වන විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවේ, කැබිනෙට්ටුවේ හා අධිකරණයේ බලයට යම්තාක් දුරකට අවනත කරන යෝජනාවක් 20 වැනි සංශෝධනයේ පවතිනවා. ඉන් ප්‍රධානතම කාරණය වන්නේ ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා බවට පත්කොට ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා බවට පත් කිරීමයි. එම නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා රාජ්‍යයේ ප්‍රතිපත්ති අතර ඇතිවිය හැකි ද්වන්ධ සටන නිමා කිරීමට හැකි වෙනවා. එසේම රාජ්‍ය යනු ආණ්ඩුව නොව හා ආණ්ඩුව යනු රාජ්‍යයේ කොටසක්ම පමණක් බවට විධිමත්ව ව්‍යවස්ථාගත කිරීමට මෙම සංශෝධන ඉවහල් වෙනවා. මේ හේතුවෙන් විධායක ජනාධිපති පාර්ලිමේන්තු පරමාධිපත්‍යයට යටත් හා විධායකයේ බලතල පමණක් හිමි ධුරයක් බවට පත්වෙනවා. ඒ තුළින් අනවශ්‍ය ලෙස අධිකරණයට ඇඟිලි ගැසීමට, අගමැතිවරයා සමඟ රණ්ඩු කිරීමට හෝ ඇමැතිවරුන් දඬු අඬුවේ දමා ගැනීමට විධායකයට අවශ්‍ය වන්නේ නෑ. රට පාලනය කිරීම පිළිබඳ සැබෑ ලිච්ඡවී දර්ශනයක් මෙම සංශෝධනය හරහා ඉදිරිපත් වෙනවා. එය වෙස්ට්මිනිස්ටර් ආකෘතියට බොහෝ සමාන අංග ලක්‍ෂණ ඇති සංශෝධනයක්. ඉන්දියාව වැනි ඉතා විශාල ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට ඉතාමත් කිට්ටුවෙන් ගමන් කරන දේශපාලන පද්ධතියක් ස්ථාපනය කර ගැනීමට ගෙන එන යෝජනාවක් ලෙස සලකන්න පුළුවන්.

එමෙන්ම විධායක ජනාධිපති ධුරය තුළින් ඇති කරන ප්‍රතිසංස්කරණ හා මෙරට වත්මනේදී මුහුණදී ඇති මහ පරිමාණයේ විදේශීය තර්ජනයන්ට පිළිතුරක් ලබාදිය හැකි බව මගේ විශ්වාසයයි. නමුත් ඒ සඳහා නැවතත් සබුද්ධික පාලකයන් පිරිසක් පළමුව නිර්මාණය කොටගත යුතුයි.

විධායකයට කැබිනට් මණ්ඩලය අභිභවා යෑමට වර්තමානයේ විශාල හැකියාවක් තිබෙනවා. අද විධායකයේ බලය හා පාර්ලිමේන්තුවේ බලය අතර පවතින කඹ ඇදිල්ල තුළින් රට අරාජික වෙලා. මේකට ප්‍රධානතම හේතුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා වීම. ජනපතිට රාජ්‍ය පමණක් භාර කළා නම්, රාජ්‍යයේ ප්‍රතිපත්තිය සන්නද්ධ සේවා හා අනෙකුත් සියලුම අංශ පිළිබඳ ජනපති පමණක් වුණා නම් එම ධුරයට ආණ්ඩුවේ බලයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. 20 හරහා ජනපති රාජ්‍යයටත්, අගමැති ආණ්ඩුවටත් බැඳ තබමින් වර්තමානයේ පවතින අර්බුදය විසඳීමට විශාල වශයෙන් උපකාරී විය හැකිය. එහෙත් 20 වැනි සංශෝධනය පිළිබඳ බිල්ලන් මවන දේශපාලනයට අවශ්‍ය වී තිබෙන්නේ ආඥාදායක පාලකයෙක්.

20 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තු පරමාධිපත්‍යයේ බලයට යටත් නමුත් විධායක ධුරය හොබවන ජනාධිපතිවරයෙක් මේ රටට ලැබෙනවා. ඒ හරහා රාජ්‍යයේ කටයුතු කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමේ බලය ආණ්ඩුවේ නායකයාට ලැබෙනවා. නිර්පාක්‍ෂික රාජ්‍ය නායකයකු බිහි කර ගැනීම මේ රටට වැදගත්. දේශපාලනයෙන් තොර රාජ්‍ය පිළිබඳ සැබෑ කැක්කුමක් ඇති නායකයකු බිහිකර ගැනීමට ඇති ප්‍රධානතම ව්‍යුහාත්මකම වෙනස්කම් වන්නේ එයයි. මෙය 20 වැනි සංශෝධනයේ ඇතුළත්.

සකස් කළේ - රසිකා හේමමාලි

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon