උතුරේ වේවා දකුණේ වේවා සංහිඳියාවට බාධා කරන්නන්ට දඬුවම් දිය යුතුයි

  👤  3166 readers have read this article !
By mawbima 2018-07-16

රටේ සංහිඳියාවට බාධාවෙන ආකාරයේ ප්‍රකාශ කවුරුන් හෝ සිදු කරන්නේ නම් ඔවුන්ට නීතිය මඟින් දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක පැවැසීය.

උතුරේ මහ ඇමැති වේවා, දකුණේ මහ ඇමැති වේවා සංහිඳියාවට බාධා වන ප්‍රකාශ සිදුකරන්නේ නම් තම කණ්ඩායම ඊට එකහෙළාම විරුද්ධ වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පසුගියදා (13දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
නැවතත් උතුරේ ජාතිවාදය වපුරන ප්‍රකාශ සිදුකෙරෙනවා. විජයකලා මන්ත්‍රිවරියගේ ප්‍රකාශ එකක්. මේ ප්‍රකාශය පිළිබඳව තවමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැහැ. ඊයේ වන විට උතුරේ මහ ඇමැති ජනතාවට කියනවා හමුදාවට කිසිම තොරතුරක් දෙන්න එපා කියලා. අපි ආණ්ඩුවෙන් අහනවා රටේ ක්‍රියාත්මක වන්නේ එක නීතියක්ද කියලා. මේ වගේ ප්‍රකාශයක් දකුණේ මහ ඇමැති කිව්වත් උතුරේ මහ ඇමැති කිව්වත් අපි විරුද්ධයි. රට තුළ එක නීතියක් තිබිය යුතුයි.

මෙවැනි ප්‍රකාශ නැවතත් ජාතිවාදය පැතිරිලා රට දෙකඩ කර, රට විනාශ කරන තත්ත්වයකට රැගෙන යා හැකියි.

එම නිසා ආණ්ඩුව මේ මොහොතේම මේ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කර රටේ සංහිඳියාවට බාධා වෙන ප්‍රකාශ කිරීම්වලට දියහැකි උපරිම දඬුවම් ලබාදී ඒවා නතර කළ යුතුයි.

මේ ආකාරයට බදු ගහන ආණ්ඩුවක් ඉතිහාසයේම තිබිලා නැහැ. පසුගිය වසරේ පමණක් අහිංසක ජනතාවගෙන් බදු මුදල් රුපියල් කෝටි ලක්ෂයක් අය කරගෙන තිබෙනවා. වාහනයක් සතු හැම කෙනකුම බදු ගෙවිය යුතු බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියනවා. නැත්නම් කරදර වෙන්නට වන බවට ඔහු තර්ජනය කරනවා.
එදා මහින්ද කාලයේ රට පැන්න පාතාලය අද ඇවිත් රජ කරනවා. එල්ලුම්ගහ ගෙනෙන එක හොඳයි. ඒ වුණාට එල්ලන්නේ කවුද? කුඩු ග්‍රෑම් 1-2 ගේන ජාවාරම්කරුවන්ද? කිලෝ ගණන් ගෙන්වන්නට හවුල් වූ දේශපාලනඥයන්ද යන්න ප්‍රශ්නයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත්
ස්ත්‍රී දූෂකයන්ටත් මරණ දඬුවම ලබාදිය යුතුයි. යළිත් මරණ දඬුවමේ කතන්දරය සමාජගත කෙළේ පවතින අපරාධ රැල්ල යටපත් කරන්නටයි. ජාත්‍යන්තර බලපෑම් මත මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මකයි. කුඩු ජාවාරම් වැඩියෙන්ම සිදුවන්නේ හිරගෙවල් තුළ සිටයි. මේවාට බන්ධනාගාර ඇමැතිවරියද වගකිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි තාරක බාලසූරිය
ආණ්ඩුව සතියෙන් සතිය අලුත් මාතෘකා හදලා ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන්න හදනවා. 'නිව්යෝර්ක් ටයිම්ස්' ගෙනෙනවා. ඊට පස්සේ විජයකලා ගෙනෙනවා. ඊළඟට තෙල් මිල ගෙනෙනවා. දැන් එල්ලුම් ගහ ඇවිත්. රනිල් පිටිය හදනවා. ජනාධිපතිවරයා බවුන්සර් එක දානවා. රටේ ප්‍රශ්න එතැනමයි.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon