මත්තල ගුවන්තොට ඉන්දියාවට දීම ඉන්දු-ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක්

  👤  3284 readers have read this article !
By mawbima 2018-07-16

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟවීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් බවත්, එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීමට සමස්ත ජාතියම නැඟී සිටිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය ආණ්ඩුව විසින් මත්තල ගුවන්තොටුපොළ සැලැසුම්කොට ඉදිකරනු ලබන්නේ මූලික වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටු කර ගැනීම සඳහාය. පළමුවැන්න, ලෝකයේ ප්‍රධානතම වරායවල් 10 අතරට ගැනෙන විශාලතම වරායක් වන හම්බන්තොට වරායට සහ ඒ ආශි්‍රත ආයෝජන කලාපයට ගුවන්සේවා සැපයීමය. දෙවැන්න ඕනෑම රටක මූලික ජාතික අවශ්‍යතාවක් වන දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමය. එම දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව නව ගුවන් මාර්ග රාශියක් ආරම්භ කිරීමේ හැකියාවද විශේෂ තත්ත්වයකි. ඒ මඟින් ගුවන්යානා ගොඩබෑමක් සිදු නොවූවද ගුවන් මාර්ගයේ ගමන් කරන යානාවලින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිත කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු ශ්‍රී ලංකාවට ලැබේ. ඒ මඟින් ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන්ම නඩත්තු කළ හැකිය.

දැනටමත් එවැනි නව ගුවන් මාර්ග 7ක් ආරම්භ වී ඇති අතර මත්තලට ඉහළ අහස භාවිත කරමින් සියලු වාසිදායක තත්ත්වයන් ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මත්තල ලෝක සිතියමේ පිහිටා ඇති ස්ථානය නිසාය. එම පිහිටීම නිසා මත්තල ගුවන්තොටුපොළ ගෝලීය මට්ටමින් උපායමාර්ගික වැදගත් මර්මස්ථානයක් බවට පත් වේ.

එපමණක් නොව හදිසි අවස්ථාවකදී කටුනායක මඟහැර ගොඩබෑමට ගුවන්තොටුපොළක් තිබීම නිසා කටුනායක ගුවන්තොටුපොළට ද වැඩි වාසියක් ලැබේ. වර්තමාන ආණ්ඩුව විසින් මත්තල එම පහසුකම් තිබියදී එම ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කිරීමට සිදුවූ මුදලින් අඩක් වැයකොට කටුනායක ගුවන් පථය පුළුල් කරනු ලැබීය. මත්තල ගුවන්තොටුපොළ අවතක්සේරු කිරීම සඳහා එවැනි වැරැදි ආයෝජනයක් සිදු කළද සම්පූර්ණ බර සහිතව එම විශාල ගුවන්යානා ආරක්ෂිතව කටුනායකට ගොඩබෑමේ ගැටලුවක් පවතියි.

මෙතරම් වටිනා ජාතික සම්පතක් හිස් ගුවන්තොටුපොළක් ලෙස හඳුන්වමින් අවතක්සේරු කරන්නේ ඉන්දියාවේ වුවමනාවට බව දැන් පැහැදිලි වේ. ඕනෑම රටක පාලකයන් විසින් රටේ ජාතික සම්පත් මුග්ධ ලෙස අවතක්සේරු කොට විකුණා දැමීම සිදු කරන්නේ නම් එය පහත් මනෝභාවයක් ලෙස හැඳින්විය හැකිය.

ණය ගෙවීමට නොහැකි නිසා මත්තල විකුණන බව පැවැසීම පට්ටපල් බොරුවක් පමණක් නොව 'යාචක ප්‍රකාශයක්' බවද කිව යුතුය. කිසිදු ගැටලුවක් නොමැතිව එම ණය ආපසු ගෙවමින් සිටින්නේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආදායම්වලිනි. එම 'සොච්චම් ණය' භාණ්ඩාගාරයට බරක් වූයේ නැත. වරායට කිලෝමීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තු සේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපෙළක් තිබීම තුළින් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටලුකාරී තත්ත්වයක් පැනනඟින බවට සැකයක් නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon