මේ ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන දා අපේ බලය කොළඹදී පෙන්වනවා

  👤  3337 readers have read this article !
By mawbima 2018-07-16

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපය හේතුවෙන් අසාධාරණයට ලක් වූ සියලු ජනතාව ඒකාරාශී කරගනිමින් ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළු වන සියලු මාර්ග අවුරා 'ජන බලය කොළඹට' නමින් දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවැසීය.
පසුගියදා නෙලුම් මාවත කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය

අගෝස්තු 17 කියන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව පිහිටුවලා අවුරුදු 3ක් පිරෙන දිනය. එදාට මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජනතාවත්, මේ ආණ්ඩුව නිසා අසාධාරණයට ලක් වූ ජනතාවත් කොළඹට ඇවිල්ලා අති විශාල ජන පෙරළියක්, උද්ඝෝෂණයක් සිදු කරනවා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ.

මේ යහපාලන ආණ්ඩුව පත් වුණ දවසේ ඉඳලා මේ රටේ ජනතාවගේ සහන කප්පාදු කළා. සංවර්ධන කටයුතු සියල්ල නැවැත්වූවා. පොහොර සහනාධාර කැපුවා. ඒ විතරක් නෙවෙයි එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය නිසා රටේ නීති පද්ධතිය කඩාගෙන වැටෙනවා. පාතාලය හිස ඔසවලා තැනින් තැන මිනීමැරුම් සිදුවෙනවා. රටේ ඒකීයත්වයට මහා දැවැන්ත තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. ඒ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම රට අස්ථාවර තත්ත්වයකට ඇද දමලා තිබෙන්නේ. මේ ආණ්ඩුව පත්වෙන කොට දීපු පොරොන්දු එකක්වත් ඉටු කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම ජනතාවගේ බඩට පහර ගහලා ජනතාවගෙන් පළිගන්න ආකාරයට ආණ්ඩුව මේ අවුරුදු තුන තුළ කටයුතු කළා.

දැන් අලුත්ම වැඩේ තමයි රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම හරහා මත්තල ගුවන්තොටුපොළ විකිණීමට සූදානම් වීම. ඒ විතරක් නෙවෙයි තවත් රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට සූදානම් වෙනවා ආණ්ඩුව. ඒ තමයි දුම්රිය, සෞඛ්‍ය, තැපැල්, අධ්‍යාපනය කියන අංශ. මේවා පෞද්ගලීකරණය කිරීමේ පළමු පිඹුරුපත කැබිනට් අනුමැතියට යොමු කරලා තිබෙන්නේ.

රටේ අසාධාරණයට ලක්වූ සියලු ජනතාව ඒකාරාශී කරගෙන සැබෑ විපක්ෂයේ දේශපාලන බලවේග ඒකාරාශී කරගෙන 'ජන බලය කොළඹට' කියන උද්ඝෝෂණය අපි සංවිධානය කරලා තිබෙනවා. අපි ආරාධනා කරනවා සියලුම ප්‍රගතිශීලී ජනතාවට අපත් සමඟ එකතු වෙන්න. අගෝස්තු 17 වැනිදා කොළඹට එන්න කියලා. එදාට මේ ආණ්ඩුව පලවා හරින උද්ඝෝෂණය කරන්න අපත් සමඟ එකතු වෙන්න.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon