ගෝනකු මරා, ගොන් කරත්ත 5 කින් තේක්ක කොට ප්‍රවාහනය කළ 6කට දඩ

  👤  3325 readers have read this article !
By mawbima 2018-07-16

ඉනාමළුව - තිලක විජයසූරීය

මාදුරුඔය ජාතික උද්‍යානයේ ලෙබ්බාගල ප්‍රදේශයේදී තේක්ක කොට කපා ගොන් කරත්ත පහකින් ප්‍රවාහනය කිරීමේ හා ගෝනකු මරා මස් කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයන් හය දෙනකුට රුපියල් හය ලක්ෂ හතළිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියම කළාය.

මෙසේ දඩ මුදල් ගෙවීමට නියම වූයේ මහඔය ඉද්දපොල, සේරංකඩ ප්‍රදේශවල පදිංචි කිඹුල්ඔබ්බේ ගෙදර හේරත් බණ්ඩාලාගේ ප්‍රියන්ත හේමකුමාර, අත්තනායක මුදියන්සේලාගේ වික්‍රමසිංහ, වැදිවල මුදියන්සේලාගේ වික්‍රමසිංහ, හේරත් මුදියන්සේලාගේ ධර්මවර්ධන, දිසානායක මුදියන්සේලාගේ රෝෂාන් ගුණවර්ධන, බමුණුසිංහ මුදියන්සේලාගේ අමිල නිරංකර යන පුද්ගලයන් හය දෙනාටය.

සැකකරුවන් ඉකුත් පස් වැනිදා අලුයම ජාතික උද්‍යානයේදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාදුරුඔය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී සිටීම හා රැඳී සිටීම, නීති විරෝධී ලෙස එම උද්‍යානයේ අඩිපාරවල් කැණීම හා අඩිපාරවල් පාවිච්චි කිරිම, දැඩි ලෙස ආරක්ෂිත ගෝනෙක් හවුලේ මස් කිරීම, ජාතික උද්‍යානයේ තේක්ක ගස්කපා කුට්ටි කර පැටවීම තුළින් ශාකවලට හානි කිරීම යන චෝදනා ගොනු කර තිබිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාදුරුඔය ජාතික උද්‍යානයේ කන්දේගම කොටසේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකරමින් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon