ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා රාජ්‍ය දැව සංස්ථා සභාපති යළිත් රිමාන්ඩ්

  👤  3218 readers have read this article !
By mawbima 2018-07-16

කාවින්ද්‍යා පෙරේරා

එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලබන ජූලි 24දා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඉදිකැටියහේවගේ කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනාය.

නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන්ට නැවත ඇප ඉල්ලීමක් සිදුකිරීම සඳහා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ අජිත් පතිරණ මහත්වරු පෙනී සිටිමින් ඇප ඉල්ලා සිටියහ.

සැකකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට සඳහන් කළ නීතිඥවරුන් වෛද්‍ය වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නඩු විභාගය අවසන් වීමට වසර 10ක කාලයක් පමණ ගත විය හැකි බැවින් මෙම සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසය.
ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඉකුත් 13දා අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීමට අදාළ නියෝගය ලබන ජූලි 24 ප්‍රකාශ කරන බවට සඳහන් කරමින් සැකකරුවන් එදින තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළේය.

මෙම සිද්ධිය අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණේ නො, 27/9, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 පදිංචි එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානි කොටහා රාලහල්ලි කොඩි ඩප්පයියා නඩරාජා නමැති ඉන්දීය ජාතිකයකු විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon