චිත්‍රපට බෙදාහැරීමේ 1971 පනත ක්‍රියාත්මක කරනවා

  👤  3224 readers have read this article !
By mawbima 2018-07-16

ආරියරත්න ගනේගොඩ

දේශීය සිනමාව ආරක්ෂා කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතික චිත්‍රපට සංස්ථාව ඇති කර සිංහල චිත්‍රපට ප්‍රචාරණය වෙනුවෙන් 1971 වසරේදී පනතක් ගෙනාවා. එම කාලය තුළ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ඇතිවුණා. නමුත් 1977න් පසු විවෘත ආර්ථිකය තුළින් විසඳුම් සෙවීම වෙනුවට සිදුවුණේ චිත්‍රපට බෙදාහැරීමේ බලය පෞද්ගලීකරණය කිරීමයි. එමඟින් සංස්ථාවට ලැබෙන්න තියෙන මුදල් පෞද්ගලික අංශය බෙදා ගත්තා යැයි ප්‍රවීණ සිනමාවේදී ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවැසීය.

වසර 18ක් තිස්සේ පෞද්ගලික අංශය සතුව තිබූ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ඒකාධිකාරී බලය බිඳ දමමින් නැවතත් දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ බලය ජාතික චිත්‍රපට සංස්ථාවට පැවැරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා එසේ පැවැසීය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්දෙණිය මහතා මෙසේද පැවැසීය.
2001 වසරේදී දේශපාලනය අත්හැරීමට සිදුවූයෙත් මේ නිසයි. අද චිත්‍රපට නිෂ්පාදකයා අන්ත අසරණ තත්ත්වයට වැටිලා. සමහර වෙලාවට නිෂ්පාදකයන් ඉදිරිපත් කරන චිත්‍රපට ගඟට දාන්න කියලා බෙදාහරින්නන් කියූ අවස්ථා තිබෙනවා.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් අධි නීතිඥ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේත් මැදිහත් වීම මත යළි සිංහල සිනමාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සිංහල චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව සතු කිරීම ඓතිහාසික සිද්ධියක් බව කිවයුතුයි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා

පසුගිය කාලේ ජනාධිපතිවරයා සිනමාවේ අර්බුදය සම්බන්ධව 45 දෙනකුට ආසන්න විද්වත් කමිටුවක් ජනාධිපති උපදේශක සමඟ හත් අට වතාවක්ම රැස්ව කරුණු 15ක් නිර්දේශ ඉදිරිපත් කළා. සිනමාවට ආදරය කරන කණ්ඩායම් එම සාකච්ඡාවලදී සංශෝධන කීපයක් ගෙනාවා.
සිංහල චිත්‍රපට බෙදාහැර ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් 1971 පනත යළි ක්‍රියාත්මක කරන්න අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. ඒ සඳහා ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීමෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අනුමැතිය ලබාදුන්නා.

ජාතික චිත්‍රපට සංස්ථාව හරහා සරසවි චිත්‍රාගාරය ප්‍රතිසංස්කරණය කිරීම, සිනමා පාසලක් ආරම්භ කිරීම, කැලණිය විශ්වවිද්‍යාලය සමඟ විෂය නිර්දේශ සකස් කිරීම ඇතුළු විශාල වැඩ කොටසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතා

පෞද්ගලික සමාගම් ක්‍රියා කළේ කලාත්මක චිත්‍රපට අයින් කර වාණිජමය චිත්‍රපට බෙදා හැරීමටයි. මේ නිසා ඉදිරියේදී දේශීය චිත්‍රපට බෙදාහැරීම වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ වෙනම නියාමන මණ්ඩලයක් යටතට පත්කර නිවැරැදිව එය හැසිර විය යුතුයි.

ප්‍රවීණ සිනමාවේදිනි මාලිනී ෆොන්සේකා මහත්මිය

කලක් තිස්සේ කිසිම ප්‍රතිකර්මයක් නැතිව කර්මාන්තයක් වශයෙන් සිනමාව බිමටම සමතලා වුණා. එබැවින් මෙය ඓතිහාසික අවස්ථාවක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon