වසරේ විශිෂ්ටතම ගුරු තරුව සම්මානය දාලුව ශා. ඇන්තනි විදුහලේ අසිත් මුතුකුමාරණට

  👤  3625 readers have read this article !
By mawbima 2018-07-16

පියර්සන් එඩෙක්සෙල් සහ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ හවුල්කාරී තත්ත්වයෙන් ගේට්වේ උපාධි පාසල පිරිනැමූ 'වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ගුරු තරුව 2018' සම්මානය පුත්තලම මාම්පුරිය, දාලුව ශාන්ත ඇන්තනි මහා විද්‍යාලයේ අසිත් මුතුකුමාරණ විසින් හිමිකරගන්නා ලදී.

දේශීය සහ ජාත්‍යන්තර ගුරුවරු, අධ්‍යාපන වෘත්තිකයන් හාරසියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව 'ප්‍රඥාවේ සිට උපදේශනය' යන්න තේමාකොට ගනිමින් පෙරේදා (14දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති ජාත්‍යන්තර ගුරු සංසදයේ තුන්වැනි වාර්ෂික රැස්වීම ආරම්භයේදී මේ සම්මානය පිරිනැමිණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් 'වසරේ විශිෂ්ටතම ගුරු තරුවට' හිමි සම්මානය අසිත් මුතුකුමාරණ ජයරත්න වෙත පිරිනැමුණු අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක්ද පිරිනැමිණි.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ කතාව කළ ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා සිය පියාණන් වූ ශේ‍ර්ෂ්ඨ අධ්‍යාපනඥ ආර්. අයි. ටී. අලස් ගුරු පියාණන්ගේ මතකය සිහිපත් කරමින් මෙසේ පැවැසීය.

'උසස් අධ්‍යාපනය ගැන කිසිම නිශ්චිත අරමුණක් නොතිබුණු හුඟාක් දුෂ්කර ළමා කාලයක් ගත කළ අවුරුදු විසිතුනක විතර තරුණයෙක් ගුරුවරයෙක් වෙන්න කියලා හිතාගෙන මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. අවුරුදු දෙකක දුෂ්කර කාලසීමාවකට පස්සේ ඔහු ගුරුවරයෙක් විදියට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පිට වුණේ අභියෝගයකුත් එක්ක. පිළිකාවෙන් පෙළෙන අම්මාව රැකබලා ගන්න නම් ඔහු කොළඹ අවටින් රැකියාවක් සොයා ගත යුතුව තිබුණා. වාසනාවට වගේ පාසල් ගණනාවක අවස්ථාවන් සොයා වෙහෙසුණු ඔහුට රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු විදියට ‍ෙදාරගුළු විවර වුණා. එවකට රාජකීය විද්‍යාලයේ විදුහල්පති පුටුව හෙබවූ ඩඩ්ලි සිල්වා මහතා මේ තරුණ ගුරුවරයාට සේවය සඳහා ‍ෙදාරගුළු විවර කළේ පුංචි පහේ අභියෝගයකුත් එක්ක. ශිෂ්‍යභට සහ මලල ක්‍රීඩා භාරව ගුරුවරයකු ලෙස සේවයට එක්වීමේ අභියෝගය මේ තරුණ ගුරුවරයා භාර ගත්තා. එවකට ගාල්ලේ රැකියාව කරමින් සිටි ඔහුගේ බිරිය බැලීමට සෑමදාම රාත්‍රි හතේ කෝච්චියෙන් පිටව යන ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මවගේ වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නත් අමතක කළේ නැහැ. රාත්‍රි එකොළහට පමණ ගාල්ලේ ගමනාන්තයට ළඟාවෙන ඔහු නැවතත් පසුදා පාන්දර හතරට සිය දවස ආරම්භ කරනවා. අවුරුද්දක් පුරාම දැඩි කැපවීමෙන් යුතුව මේ දින චර්යාව අනුගමනය කරන්නේ රාජකාරි දිනයන්හිදී කිසිදු නිවාඩුවක් පවා නොගෙනයි.

අවුරුදු විසිපහකටත් වැඩි කාලයක් පුරා කූඹි කැලේ ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක් බවට පත්වෙන්නේ ආර්. අයි. ටී. අලස් නම් අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළමිනිසාගේ දෑතිනි. පුහුණු ගුරුවරයකු ලෙස සේවයට එක්වුණු ඔහු අවසානයේ නතර වුණේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙසයි. මේ කතාව මම ගෙනහැර පෑවේ කැපවීමෙන් කටයුතු කරන ගුරුවරයකුට බොහෝ දුර යන්න පුළුවන් කියලා මතක් කරලා දෙන්නයි.'

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින්ද ද සිල්වා විසින් වසරේ විශිෂ්ටතම ගුරු තරුවට රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරුණේ ඔහුට කුඩා කල අධ්‍යාපන දුන් ආර්. අයි. ටී. අලස් ගුරු පියාණන්ට සහ ඔහුගේ පියාණන් වූ සෑම් ද සිල්වාට පුද කරන ගෞරව උපහාරයක් ලෙසිනි.
එම අවස්ථාවේදී උත්සව සභාව ඇමතූ අරවින්ද ද සිල්වා මෙසේ පැවැසීය.

'මට මතකයි මගේ තාත්තා මං පුංචි කාලේ පාසලක් හොයාගන්න වින්ද දුක ගැන අවස්ථා කිහිපයකදීම කතා කළා. එතකොට අපි ජීවත් වුණේ ගල්කිස්සේ. තාත්තා මුලින්ම උත්සාහ කළේ මාව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන්න. ඔහු ඒ සඳහා උපකාර කළ හැකි හැම දෙනා සමඟම කතා කළා. දවසක් ඔහු ගෙදර ආවේ බොහොම කලකිරීමෙන්. ඒකට හේතුව තමයි ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මාව ප්‍රතික්ෂේප වීම. ඒත් අන්තිමේදී කොහොම හරි ඔහු මා වෙනුවෙන් පාසලක් සොයා ගත්තා. වැල්ලවත්ත සෙන්ට්‍රල් විද්‍යාලයට මම ගියේ සති කිහිපයයි. දවසක්දා මම පාසල් යන්න බෑ කියලා ඔහුට මැසිවිලි නැඟුවා. සපත්තු නැතිව සමහර ළමයි පාසලට එන හින්දා මට පාසල් යන්න බැහැ කියලා මම එදා තාත්තාට කිව්වා. එදා පුංචි දරුවෙක් විදියට ජීවිතේ නොතේරුණු දේවල් අද වැඩිහිටියෙක් විදියට මට තේරෙනවා. එදා මට තාත්තා කිව්වේ හැම පාසලකින්ම ජීවිතේට පාඩම් කියලා දෙනවා කියලයි. මගේ අසතුටුදායක හිත හඳුනාගත්තා වගේ තාත්තා මාව ඉසිපතන විද්‍යාලයට ඇතුළත් කළා. ඉන් මාසෙකට පස්සේ මම ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වුණේ අලස් ගුරු පියාණන් මගේ තාත්තගෙන් කළ ඉල්ලීම නිසා. මගේ ගමන පටන් ගන්නේ එතැනින්. පාසල ඇතුළේ ගත කළ කාලය තුළ මම බොහෝ දේවල් ඉගෙනගත්තා. මගේ ජීවිතයට බොහෝ දේවල් ලැබුණා.

වසරේ විශිෂ්ටතම ගුරු තරුව සම්මානය මගේ හීනයක්. ක්‍රිකට් ලෝක කුසලානය දිනුවා වගේ කවදා හරි දවසක ලෝකයේ හොඳම ගුරුවරයාට හිමි සම්මානයත් ලංකාවට දිනාගන්න පුළුවන් වෙයි.'

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් 'වසරේ විශිෂ්ටතම ගුරු තරුව' තෝරා ගැනීමට දායක වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිස හඳුන්වා දෙනු ලැබූ අතර ඔවුන් කළ සේවය අගයමින් අතිරේක ලේකම් (සැලසුම් හා මහජන සම්බන්ධතා) මයුරා වේහැල්ල, කළමනාකරණ සහ තත්ත්ව සහතික අංශයේ අධ්‍යක්ෂ කුමාරි සෙනෙවිරත්න, ගුරු අධ්‍යාපන පරිපාලන අංශයේ අධ්‍යක්ෂ එම්. එෆ්. එන්. හරීජා, දෙමළ පාසල් අංශයේ අධ්‍යක්ෂ එස්. මුරලිදරන් යන මහත්ම මහත්මීන්ට සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

ඉන් අනතුරුව වසරේ විශිෂ්ටතම ගුරු තරුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අරවින්ද ද සිල්වාට ආරාධනා කෙරුණු අතර ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව ආචාර්ය හර්ෂ ද අලස්ට පැවරුවේ තමන්ට එතරම් ශක්තිමත් බවක් නොමැති බව පවසමිනි. ජයග්‍රාහී අසිත් මුතුකුමාරණ සිය සම්මානය පිළිගත්තේ රැස්ව සිටි පිරිස සිය අසුන්වලින් නැඟී සිට දුන් අත්පොළසන් හඬ මධ්‍යයේය.

වසරේ විශිෂ්ටතම ගුරු තරුව සම්මානය සඳහා නිර්දේශිත අවසන් සිවු දෙනා වූ ගල්ගමුව පහළ ගිරිබාව ප්‍රාථමික විද්‍යාලයේ ටී. සන්ධ්‍යා මෙන්ඩිස්, දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලයේ සුනීතා අයිරාංගනී, පැල්මඬුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ ගාමිණී එස්. මුහන්දිරම්, නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ගයාන් ගුණතිලක යන ගුරු මහත්ම මහත්මීන්ට සම්මාන සහ රුපියල් පනස්දහස බැගින් වූ මූල්‍ය තිළිණ ප්‍රදානය කෙරිණි.
ඉන් අනතුරුව උත්සව සභාව ඇරඹූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‍ෙදාස්තර හර්ෂ අලස් මහතා බොහෝ කාර්යයන් කරන්නේ අගයක් එකතු වෙන ආකාරයට. ඒ හින්දා මට මේ අවස්ථාවට ආරාධනා කිරීමට අගයක් එක් කළ යුතුයි. අවසානයට තේරුණු ගුරු මෑණිවරු පියවරු වේදිකාවට එද්දී මම ඔවුන්ගෙන් ඇහුවා කොයි ආකාරයෙන්ද නිවෙස නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඔවුන් අතරින් හතර දෙනකුටම තමන්ගේ කියලා නිවෙසක් නෑ. තමන්ගේම කියලා ඉඩමක් නෑ. එක් ගුරුවරියකට ඉඩම තිබුණාට නිවෙස ඉදිකරලා තියෙන්නේ භාගෙට. හර්ෂ අලස් මැතිතුමාගේ අගය එකතු කිරීමේ ප්‍රතිපත්තියට තවත් ශක්තියක් ලබාදෙමින් මේ පස් දෙනාගේ ඉඩම් සහ නිවාස ප්‍රශ්න ඉතාම කෙටි කාලයක් ඇතුළත් අවසන් කරලා දෙන්න මම පොරොන්දු වෙනවා.

සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව නොටින්හැම් මැලේසියා විශ්වවිද්‍යාලයේ පාසල් අධ්‍යාපන ප්‍රධානි මහාචාර්ය ඥානකුමරන් සුබ්‍රමනියන් විසින් ගුරුවරුන් උදෙසා මෙහෙයවූ සම්මන්ත්‍රණය ඇරැඹි අතර ඒ සඳහා නොටින්හැම් විශ්වවිද්‍යාලයේ පාසල් අධ්‍යාපනය පිළිබඳ සහාය මහාචාර්ය සින්තියා යොලන්දා, ඩොස්, ජාත්‍යන්තර ගුරු පුහුණුකරු හා අධ්‍යාපන උපදේශක ඩේවිඩ් කායේ, ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ (උඛ්ඹ්) අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය කිම් ඉන්ස්ලේ ඇතුළු පිරිසක් සම්පත් දායකත්වය ලබාදුන්හ.
තම ජයග්‍රහණයෙන් අනතුරුව 'මව්බිම' කළ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් අසිත් මුතුකුමාරණ පැවසුවේ මෙවැන්නකි.

'සම්මානය ලැබුණු එක ගැන නම් ඇත්තටම සතුටුයි. සම්මානය ගැන බලාපොරොත්තුවක් නැති වුණත් සම්මානේ ලැබුණේ අවශ්‍යම වෙලාවක. අපි දැනට ඉන්නේ වෙන කෙනකුගේ ගේක. මේ සම්මානේ අම්මටයි තාත්තටයි ලැබුණු තෑග්ගක්. මගේ අම්මයි තාත්තයි කුලී වැඩ කරලා තමයි මාව මෙතැනට අරන් ආවේ. ගුරුවරයෙක් විදියට මේ තත්ත්වයට එන්න මම වින්ද දුක දන්න නිසාම තමයි මම මගේ දරුවෝ වෙනුවෙන් කැප වෙන්නේ. මේ සම්මාන උළෙලට අයැදුම් කළෙත් අහම්බෙන්. අපේ පාසලේ විදුහල්පතිනිය වරුණි ප්‍රනාන්දු මේ අයැදුම්පත මගේ අතට ගෙනැත් දෙද්දී මම විහිළුවට වගේ කිව්වා මේ ලක්ෂ දහය දින්නොත් ගේ හදාගන්නවත් පුළුවන් කියලා. මම මේ ආව පාරදිගේ එක දරුවෙක් හරි මේ තැනට ගේන්න පුළුවන් නම් මට ඒක වටිනවා'


මේ අවස්ථාවට ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපතිනි රෝහිණී අලස්, වෛද්‍ය හර්ෂ අලස්, දිනාලි අලස්, රමන්ත අලස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 සවනි ශේශාධි
ඡායා : කැලුම් චාමර

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon