රිය අනතුර කළ අය මගේ දරු දෙන්නා ලොකු මහත් වෙනකම්වත් උදව්වක් කළොත් මට ඒ ඇති

  👤  3310 readers have read this article !
By mawbima 2018-07-16

දමුණුපොළ - චමින්ද ජයලත්

බලන්න මහත්තයෝ රිය අනතුරකින් අසරණ මගේ බිරිය මිය ගියා. නමුත් රිය අනතුර සිදුකළ පුද්ගලයන් අද වෙනතුරු අපේ මළගෙදරටවත් ආවේ නැහැ. මළ ගෙදර ඇවිල්ලා කතාබහ කරලා අඩුම ගානේ ගියා නම් ගොඩක් වටිනවා. මට මොකවත් ඒගොල්ලන්ගෙන් එපා. මේ අසරණ දරු පැටවු දෙන්නා ලොකු මහත් කරගන්නකම් උදව්වක් කළොත් ඒ හො¼දටම ප්‍රමාණවත් යැයි වරකාපොළ පොලිස් වසමේ උඩුකුඹුර හන්දියේදී වෑන් රථයක ගැටී මියගිය දෙදරු මවගේ සැමියා වන එස්. චමින්ද රත්නායක (අවු.39) මහතා පෙරේදා (14දා) හැඬ­ූ කඳුළින් අප සමඟ ප්‍රකාශ කළේය.

මෙලෙස වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කෑගල්ල තුංතොට පනාන ග්‍රාමයේ පදිංචිව සිටි කිනිගමයලාගේ නිශාන්ති මාලා නමැති 39 හැවිරිදි දෙදරු මවකි. මියගොස් ඇති දෙදරු මව ඉකුත් 12දා අලුයම සිය අවුරුදු 2 මාස 2ක් වයසැති පිරිමි දරුවාට කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා දැනට කෑගල්ල මහ රෝහලේ අංක 6 වාට්ටුවේ ඩෙංගු වැලඳීමෙන් ප්‍රතිකාර ලබන ඔහුත් බැලීමට යමින් සිටියදී උඩුකුඹුර හන්දියට පැමිණ සිටියදී මාවනැල්ලේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටී කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත. අතැතිව සිටි පිරිමි දරුවා සුළු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

පසුව අප මෙම ශෝචනීය පුවත දැනගැනීමෙන් පසු පෙරේදා (14දා) අවසන් කටයුතු සිදුකිරීමට මොහොතකට පෙර ඔවුන්ගේ තුංතොට පනාන නිවෙස වෙත ගියෙමු. මෙම මළගෙදරට යන එන බොහෝ පිරිසක් අප සමඟද කියා සිටියේ දුප්පත් අහිංසක පවුලකට වර්තමානයේ සිදුවී ඇති ඉරණම සම්බන්ධයෙන් වගකියන්නට කිසිවකුත් මේ වනතුරු ඉදිරිපත් වී නොමැති බවයි. කුඩා පිරිමි දරුවන් දෙදෙනකුට මවක් අහිමි වී ගොස් ඇති බවත් ඔවුහු කියා සිටියහ. අප නිවෙසට යන අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව වැල නොකැඩී නිවෙසට යන එන අයුරු දක්නට ලැබුණු අතර ඒ යන එන කවුරුත් කියා සිටියේ විපතේ තත්ත්වය ඉතාමත් කනගාටුදායක බවයි.

 

මියගිය දෙදරු මවගේ සැමියා වන චමින්ද රත්නායක මහතා අප සමඟ වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
2006 වසරේ දෙන්නට ගෙනා යෝජනාවක් අනුව අප දෙදෙනා විවාහ වුණා. අපි දෙන්නට පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතාට වයස අවුරුදු 7යි. එයා ඔත්නාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 2 ශේ්‍රණියේ ඉගෙනුම ලබනවා. ලොකු පුතා අනුහස් ඉනීෂ රත්නායකයි. පොඩි පුතා දෙනෙත් දුලීෂ රත්නායකයි. වයස අවුරුදු 2යි මාස 2යි. මටත් බිරියටත් ස්ථීර රැකියාවක් නැහැ. ගමේ තිබෙන කුලී වැඩ කර බිරියයි දරුවොයි පෝෂණය කළා.

මගේ දෙවනි පුතාට වසරක පමණ කාලයක ඉඳලා හතියක් හැදෙන්න පටන් ගත්තා. පසුව පුතා කෑගල්ල මහ රෝහලට ගෙනිහින් වෛද්‍යවරුන්ට පෙන්නුවා. පුතාට මාසයෙන් මාසයට කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්න කියලා වෛද්‍යවරු කීවා. සිද්ධිය වූ 12දා බිරිය පාන්දර නැඟිට චූටි පුතාට බෙහෙත් ගේන්නත් එයාගේ අයියාගේ ලොකු පුතාට ඩෙංගු හැදිලා කෑගල්ල මහ රෝහලේ නතර කරලා ඉන්නවා. එයත් බලලා එන්නම් කියලා නිවෙසින් පාන්දර 5.15ට පමණ පිටත් වෙලා ගියා. බස් එකට නඟින්න කිලෝමීටර් 2ක් විතර පයින් යන්න තියෙනවා. එතැනට ගිහිල්ලා බිරිය බස් එකේ නැඟලා උඩුකුඹුර හන්දියෙන් දරුවා වඩාගෙන බැහැලා තියෙනවා. බිරිය මීටර් 50ක් විතර ඇවිල්ලා තියෙනවා. කහ ඉරෙන් මාරු වෙලා කෑගල්ල බලා යන බස්වලට නඟින්න. කහ ඉරෙන් මාරු වෙන්න ඉස්සෙල්ලා මාවනැල්ලේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ බිරිය ගැටිලා දරුවයි දෙන්නම විසිවෙලා තියෙනවා.

පසුව වෑන් රථයේ කට්ටියම බිරියයි දරුවයි වරකාපොළ රෝහලට භාරදීලා තියෙනවා. උදේ 6ට පමණ මට කිරි කපන්න යන අයියා කෙනෙක් කීවා ඔයාගේ නෝනා රිය අනතුරකට ලක්වෙලා. වහාම වරකාපොළ රෝහලට යන්න කියලා. පස්සේ මම ලොකු පුතා එක්ක ත්‍රිරෝද රථයකින් වරකාපොළ රෝහලට ගියා. යනකොට පොඩි පුතා නර්ස් කෙනෙක් වඩාගෙන ඉන්නවා දැක්කා. පස්සේ මට රෝහලේ ඉන්න කෙනෙක් කීවා ට්‍රොලියක කාන්තාවක් දාලා ඉන්නවා ගිහින් බලලා එන්න කියලා. මම ගිහින් බැලුවේ නැහැ. පසුව මට දැනගන්නට ලැබුණා මගේ බිරිය රිය අනතුරකින් මිය ගිහින් කියලා.

ඒ අවස්ථාවේ මාවනැල්ලේ අය අපට උදවු කරනවා කියලා කීවා. තවම නම් කිසිම කෙනෙක් උදව්වකින් තියා වචනයකින් උදවු කළේ නැහැ. අවමංගල්‍ය කටයුතුවලට උදවු කරනවා කීවා. පෙට්ටියත් ගෙනාවේ මම සල්ලි දීලා. අඩුම ගානේ මහත්තයෝ මේ මිනිස්සු මළ ගෙදරට ඇවිල්ලා අපිත් එක්ක කතාබහ කරලා යන්න තිබුණා. මගේ මවුපියොත් නැහැ. බිරියගේ මවුපියොත් නැහැ. මට උදවු කරන්න වෙන කිසිකෙනකුත් නැහැ. මට දැන් මේ දරුවෝ දෙන්නා රැක බලා ගන්න වෙලා තියෙනවා. මම ඉල්ලා සිටින්නේ මෙම දරු දෙන්නා ලොකු මහත් කරගන්නා තුරුවත් මට උදවු කරන්න කියලා. දරු දෙදෙනා දන්නේ නැහැ අම්මා මියගිහින් කියලා. කාටද මේ දුක උහුලගන්න පුළුවන් වෙන්නේ. මට මොකවත් එපා. දරුවෝ දෙන්නා ලොකු මහත් කරගන්නකම් ඒ දෙන්නව බැලුවොත් හොඳටම ඇති යැයි පියා වන චමින්ද රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon