සමාගම් 60ක් වසරකට ටින් මාළු කිලෝ මිලියන 40ක් අපේ රටට ගෙන්වනවා

  👤  3225 readers have read this article !
By mawbima 2018-07-16

ලක්ෂ්මී ජයකොඩි

ටින් මාළු ප්‍රමිතිය ආශ්‍රිතව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය අදාළ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර අපේ රටේ ප්‍රමිතීන්ට අනූව වඩාත් ගැළපෙන ටින් මාළු ආනයනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් යොදා ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ටින් මාළු අර්බුදය හා වෙළෙඳපොළ ආශි්‍රත විශේෂ සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, රජයේ වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ටින් මාළු ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් රෑන් ෂියොංග් (ර්ප. අචද ඔඪධදඨ) මහතාද සහභාගි විය.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූයේ පසුගියදා ආනයනික ටින් මාළු බහාලුම් තොග කිහිපයක පරපෝෂිතයන් සිටීම නිසා ඒවා තහනම් කිරීමත්, නැවත හරවා යැවීමත් සමඟ ටින් මාළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය විස¼දාලීමය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ඇතැම් ටින් මාළු තොගවල පරපෝෂිතයන් හමුවීම නිසා එම ටින් මාළු තොග රේගුව මඟින් අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා. ඇතැම් ටින් මාළු තොග මෙම තත්ත්වය නිසා ආපසු හරවා යැවීමටද පියවර ගෙන තිබුණා. මේ තත්ත්වය ගැන පරීක්ෂණ පැවැත්වූ රජය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමයන්ට අනුකූල නොවන ටින් මාළු මෙරට පරිභෝජනයට සුදුසු නැති බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අර්බුදය නිසා පසුගිය කාලයේ දේශීය සැපයුම්කරුවන් ආනයනය කළ ටින් මාළු තොග 31ක් දේශීය පරිභෝජනයට සුදුසු නොමැති බව දන්වා තහනම් කර තිබෙනවා. මීට හේතුව වී තිබෙන්නේ එම ටින් මාළු තුළ පරපෝෂිතයන් 03කට වැඩි ප්‍රමාණයක් තිබීමයි. මේ අනුව අපගේ රජයේ නිලධාරීන් තමන්ගේ වගකීම මැනැවින් ඉටුකරමින් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු හා ආහාර වර්ගවල පරීක්ෂණ කටයුතු කරමින් ප්‍රමිතීන් පරීක්ෂා කරමින් ගනු ලබන පියවර අගය කළ යුතුයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආනයන සමාගම් 60ක් වාර්ෂිකව ටින් මාළු කිලෝ මිලියන 40ක්, අපේ රටට ආනයනය කරනවා. රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2013 වසරේදී චීනයේ සිට ආනයනය කරන ලද ටින් මාළුවල අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 02 (රුපියල් මිලියන 322)කි. එය 2014 වසරේදී ඩොලර් මිලියන 4.85 (රුපියල් මිලියන 781)ක් පමණ විය. එය 2015 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9.65 (රුපියල් මිලියන 1,554) ක් පමණ වැඩිවිය. එය 2016 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 16.85 (රුපියල් මිලියන 2,713)ක් දක්වා සීඝ්‍රයෙන් වර්ධනය වුණා.

අපි සියලුම දෙනා එකතු වී මේ ගැටලුව විස¼දා ගැනීමට කඩිනමින් පියවර ගත යුතුයි. මේ වනවිට ටින් මාළු ආනයනය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වය නිසා ටින් මාළු හිඟයක් ඇති වීමට පුළුවන්. අපි ඒ තත්ත්වය වළක්වන්න වහාම පියවර ගන්න ඕන.

ශ්‍රී ලංකා ටින් මාළු ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් චතුර වික්‍රමනායක මහතා මෙසේ පැවැසීය.

අපි ආනයනකරුවන් ලෙස රිෂාඩ් බදියුදීන් මහතා දක්වන අදහස්වලට එකඟ වෙනවා. මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන සිටීම ගැන සතුටු වෙනවා. චීනයේ අති විශාල අපනයනකරුවන් පිරිසක් සිටිනවා. මේ වගේ ටින් මාළු ආශ්‍රිත පරපෝෂිත ගැටලුවක් මතුවුණේ පළමුවැනි වතාවටයි. එහෙත් මීට අවුරුදු 22කට පෙර චිලී දේශයෙන් ආනයනය කරන ලද ටින් මාළු තොගයක් තුළ පරපෝෂිත පණුවන් තිබීම නිසා තහනම් කළා. අපි චීනයෙන් පසුගිය අවුරුදු 8ක කාලය තුළ ටින් මාළු ආනයනය කරනවා. කවදාවත් මෙවැනි දෙයක් සිදුවී නැහැ. ඒ නිෂ්පාදන නරක ඒවා නෙවෙයි. අපි විශ්වාස කරනවා චීනයේ සැපයුම්කරුවන් ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව තම නිෂ්පාදන යාවත්කාලීන කරයි කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon