යහළුවන් සමඟ චාරිකාවේ ගිය කැලණිය සරසවියේ තරුණයෙකු අසුපිණි ඇල්ලට බිල

  👤  4210 readers have read this article !
By mawbima 2018-07-16

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

කෑගල්ල, අරණායක අසුපිනි ඇල්ලෙන් ලිස්සා වැටී අරණායක පදිංචි විශ්වවිද්‍යාල සිසුවකු පෙරේදා (14දා) පස්වරුවේ අතුරුදන් වී ඇති අතර ඔහු සොයා මේ වන විට පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට නමැති 32 හැවිරිදි අයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන මේ තරුණයා එම විශ්වවිද්‍යාලයේ යාළුවන් තිදෙනකු සමඟ තම ප්‍රදේශයේ පිහිටා ඇති සුන්දර ස්ථානයක් වන අසුපිනි ඇල්ල නැරඹීමට පැමිණ එහි විනෝද වී අසුපිනි ඇල්ලේ ඡායාරූපද ඒ අවට ඡායාරූපද ලබාගෙන තමන්ගේ ඡායාරූපයක් ලබා ගැනීමට ඇල්ල ආසන්නයට යෑමේදී ගල් තලාවෙන් ලිස්සා යෑමෙන් මේ අනතුර සිදුවූ බව ඔහුගේ මිතුරන් විසින් පොලිසියට පවසා ඇත.

නමුත් අසුපිනි ඇල්ලේ අවදානම ගැන නොසිතූ අසුපිනි ඇල්ල පහතට කඩා හැලෙන ස්ථානයේ අසල ගල් තලාවක් මතට ගොස් අතුරුදන් වූ ධම්මික කුරුවිට එම ස්ථානයේ සිට ගත්තේ අසුපිනි ඇල්ලට පිටුපාමිනි. එහි සිට ගත් තමන් සමඟ පැමිණි යාළුවකුට සිය ජංගම දුරකථනය ලබා දී පවසා ඇත්තේ තමන්ගේ ඡායාරූපයක් අසුපිනි ඇල්ලේ පහත සුන්දරත්වය පෙනෙන අයුරින් ලබා ගන්නා ලෙසයි. නමුත් ක්ෂණයකින් ඔහුගේ එක් පාදයක් ලිස්සා ගොස් ඇති අතර ඒ සමඟම අනික් පාදයද ලිස්සා ගොස් තත්පර ගණනකදී මිතුරන් බලා සිටියදීම උසින් මීටර් 100ක් පමණ වන අසුපිනි ඇල්ලෙන් පහතට ලිස්සා වැටී අතුරුදන් වී ඇත.

එම අවස්ථාවේ තරමක වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් ඇල්ල අවට තිබී ඇති අතර ඇල්ලේ ජල මට්ටමද වෙනදා මෙන් නොව තරමක වේගවත් හා වැඩි වීමක් අප මේ පුවත සැලවීමෙන් පසු එහි යන විටත් දැක ගැනීමට හැකි විය. ලිස්සා වැටුණු තරුණයා සොයා ඇල්ලේ පහළ කොටසේද ප්‍රදේශවාසීන් සෝදිසි කර බලා ඇති මුත් අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමට නොහැකි වී ඇත. සිද්ධිය සැලවීමෙන් පසුව ඇල්ල පිහිටි ප්‍රදේශය අයිති මධ්‍යම පළාතේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ එදින රාත්‍රි 8 පමණ වන තෙක් අතුරුදන් වූ තරුණයා සමඟ පැමිණි අනිකුත් තරුණයන් තිදෙනාගෙන් සාක්ෂි ලබා ගැනීම සිදුකරනු ලැබීය.

අරණායක තරුණයාගේ අතුරුදන් වීම සැල වීමෙන් එම ප්‍රදේශවල සිට බොහෝ තරුණයන් පිරිසක් මෙන්ම ඥාතීන් අරණායක හොරේවල හරහා ඉදිකර ඇති දෙයියන්වල ප්‍රදේශය පසු කරමින් අසුපිනි ඇල්ල වෙත පැමිණ සිටිනු දැක ගත හැකි විය. අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවාගේ පියාද එම ස්ථානයට පැමිණ පොලිසියට කටඋත්තර ලබා දෙනු දැක ගැනීමට හැකි විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස ඇල්ලෙන් පහළට ලෙස්සා ගොස් මීට පෙර 14 දෙනකු මිය ගිය බවයි. ඇල්ලෙන් පහළට වැටුණු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජලය ආවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට වැටෙන බවද එයට වැටුණු අයකු මීට පෙරද සොයා ගනු ලැබුවේ දින දෙක තුනක් කල් ගත වූවායින් පසුව බවද ඔවුහු පවසති. ඒ ස¼දහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලැබුණත් එම වැටුණු අයගේ මළ කඳන් සියල්ල ගොඩට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ජීවත් වන 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න විසිනි.

අතුරුදන් වූ අයගේ පියා වන කුරුවිටගේ මහින්දදාස (63) මෙසේ පැවැසීය.

මේ අතුරුදන් වෙලා තියෙන්නේ බාලයා. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම හීනයකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුතාට වෙයි කියලා. දවල් ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයේ යාළුවොත් එක්ක ඇවිත් තියෙන්නේ. මම ඒ වෙලාවේ ගෙදර හිටියෙත් නැහැ පුතා ඇල්ලට එන වෙලාවේ. පොලිසියට මෙයාගේ යාළුවෝ දුන්න කට උත්තරය විදියට මෙයා ඇල්ලෙන් වැටිලා තියෙන්නේ ඇල්ලේ උඩු කොටසෙන් අත පය සෝදා ගෙන, අසුපිනි ඇල්ල වැටෙන ස්ථානයෙන් අනික් පසට ගිහින් ගලක් උඩ හිටගෙන අනික් අයට ජංගම දුරකථනය දීලා මෙයාගේ ඡායාරූපයක් ගහන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතා ලිස්සා ගිහින් තියෙනවා. නමුත් එක යාළුවෙක් මෙයා අල්ලා ගන්න ගිහින් තියෙනවා. එයාත් ගල උඩ ලිස්සා වැටී තියෙනවා. පුතා ලිස්සා ගිහින් වතුරට වැටිලා ඇල්ලෙන් පල්ලෙහාට ගිහින් අනික් අය බලා සිටියදී පහළට ගියා කියලා තමයි ඒ පුතාලා කියන්නේ යැයි පැවැසීය.

අසුපිනි ඇල්ල කඩාහැලෙන උඩුවැල්ල ප්‍රදේශයේ ජීවත් වන ඇල්ලට වැටී මියගිය මිනී 14ක් ගොඩගත් 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න මහතා
අපි මේ ඇල්ල සම්බන්ධයෙන් විශේෂයෙන් මම මාධ්‍ය හරහා කොයි තරම් කතා කරලා තියෙනවාද? නමුත් අපි සහ මේ ප්‍රදේශයේ ජීවත් වන අය කියන දේවල් පිටින් එන තරුණයන් අහන්නේ නැහැ. ඊටත් මේ දවස්වල වැස්ස වැඩියි. මේ ස්ථානයට යෑම සුදුසු නැහැ. මේ තරුණයන් එම ස්ථානයට ගියේ මොකටද කියලා මම දන්නේ නැහැ. අසුපිනි ඇල්ල බිලි ගන්නවා කියලා කියනවා. අසුපිනි ඇල්ල බිලි ගන්නේ නැහැ. නොසැලකිල්ල නිසා වෙන දේවල් තමයි මේ වෙන්නේ. මීට කලින් 14 දෙනෙක් වැටිලා මිය ගියා. දැනට අවුරුදු 8කට විතර කලින් වැටුණට පස්සේ තමයි මේ තරුණයා වැටුණේ. එක දවසින් ගන්න ටිකක් අමාරුයි.

අබේරත්න මහතා මේ කටයුත්ත වෙනුවෙන් ජලයට බැස තරුණයා සොයා දීමට උත්සාහයක් ගෙන තිබුණත් ඔහුගේ වැඩිමහල් දරුවන් ඊට පියාට කැමැත්ත ලබා දෙන්නේ නැහැ.
මෙලෙස අතුරුදන් වූ තරුණයා විසින් අවදානම් ස්ථානවල ඡායාරූප ලබාගෙන සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබියදී අපට හමුවූ අතර එම ඡායාරූප කිහිපයක්ද අප දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon