අනුන්ට අත පා ජීවිතය ගැට ගහගෙන බල්ලෝ 40ක් පුසෝ 40ක් රකින රාජගිරියේ අසරණියෝ

  👤  4178 readers have read this article !
By mawbima 2018-07-15

ගෙවල්වල සිටින අලුතින් බිහිකරන ලද පූස් පැටවුන් භාර ගන්නා තැනක් රාජගිරියේ තිබෙන බව අසන්නට ලැබුණේ අහම්බෙනි. මහමඟ බලු පැටවුන් හා පූස් පැටවුන් දමා යන කොළඹ මේ ස්ථානය අසරණ පැටවුන්ට සරණක් වේදැයි සොයා බලන්නට සිතුවෙමු. මේ ස්ථානය කුමක්ද යන්න සොයා බැලූ අපට අසන්නට ලැබුණේ හොඳ කතාවක් නම් නොවේ. ඉතා කුඩා වහලක් යට හිඳිමින් කාන්තාවන් දෙදෙනකු විසින් පූසන් හා බල්ලන් ඇසූ දෙනකුට ආසන්න ගණනක් ජීවත් කරවන සිදුවීමක් ඒ කතාවේ අග සිට මුලටම සංවේදීව ගලා බසිනා බව දැකගත හැකිවිය.

ස්ථානය රාජගිරියේ පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබද හිස් බිම් කඩකි. එනම් රාජගිරියේ නව ගුවන් පාලම පෙනෙන මානයේ දුර කෝට්ටේ මහ නගර සභාවට අයත් භූමියයි. අඩි 10×10 විතර ප්‍රමාණයේ තහඩුවලින් ආවරණය කළ නිවෙසක් යැයි කිව හැකි තැනකි. එහි හැත්තෑ පස් හැවිරිදි සෝමාවතීත් හතළිස් නව හැවිරිදි සඳමාලිත් බල්ලන් හතළිස් දෙනෙක් හා පූසන්ද හතළිහක ප්‍රමාණයක් එනම් සතුන් අසූ දෙනකු සමඟ ජීවත් වන්නාහ.

බල්ලන්ට හා පූසන්ට කෑමට බීමට කීප දෙනකු උදවු කරන බවත්, එක් අයකු බෙහෙත් විදීමෙන්ද සහාය දෙන බවත් සඳමාලි කීවාය. සෝමාවතී රාජගිරිය පාරේ යන එන අයගෙන් ලැබෙන කීයකින් හෝ ලැබෙන කෑම එකෙන් ඇයගේත්, සඳමාලිගේත්, සතුන්ගෙත් බඩගින්න නිවීමට උත්සාහ කරන්නීය.

"මුලින්ම සතුන් කීප දෙනකු ගෙනත් දාලා තිබුණා. අපි උන්ට කෑම බීම දුන්නා. දැන් උදේ පාන්දර පහට හයට විතර අපි නැඟිටින්න කලින් පොඩි පැටවුන් ගෙනත් දාලා යනවා. එක්කෝ පැටව් විතරක් නෙවෙයි අම්මත් එක්කම ගෙනත් තියලා යනවා." සඳමාලි කතාව ඇරඹුවේ එලෙසිනි. "සමහර නෝනලා මෙතැනට පැටව් ගෙනත් දාන්නේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඇවිත්. හැමදාම වගේ පැටවුන් ගෙනත් දානවා. අපි ජීවත් වෙන්නේ මෙතැන අමාරුවෙන්. ඒත් මේ සත්තු බඩගින්නේ තියන්න බෑ." ඇය කියන්නීය.

අවුරුදු පහළොවක් තිස්සේ සෝමාවතී මේ සතුන්ට කෑම දීම කරයි. රැක බලාගනියි. "මෙතැනට පැටව් ගෙනත් දාන අය හිතන්නේ මෙතැන සතුන් රැක බලාගන්නා තැනක් කියලයි. අපි ජීවත් වෙන්නේ මේ පොඩි තැන. හිතක් පපුවක් තියාගෙන කොහොම ගෙනත් දානවාද දන්නේ නෑ." ඒ සෝමාවතීගේ හඬයි.

"මේ සත්තු ටික ඇතුළට දාලා අපි දෙන්නත් නිදා ගන්නේ මෙතැන. ඒ සත්තු රණ්ඩු වෙන්නේ නෑ එකට හිටියා කියලා" ඇය කියයි. ඔවුන් ජීවත් වන්නේ සොඳුරු පරිසරයක නොවේ. ගෙවන්නේ සුවබර ජීවිතයක් නොවේ. ඔවුන්ගේ ජීවිත දැක දැකත් මේ ස්ථානයට සතුන් ගෙනත් දාන අයට සිතක් නම් කිසිසේත්ම තිබිය නොහැකිය. එසේම නිවෙසක ඇති කළ සුරතල් සතකුගේ පැටවුන් ගෙනත් දැමීමෙන් ඒ මිනිසුන්ගේ සැබෑ ස්වරූපය කියවිය හැකිය.

"අපට මේ සතුන් ටික රැකබලාගන්න පුළුවන්. අපටත් ජීවත් වෙන්න සුදුසු නිවෙසක් තියෙනවා නම් හො¼දයි. එක එක නම් කියාගෙන ටීවී පත්තරවලිනුත් ආවා. ඒත් කිසිම සහනයක් තවම ලැබුණේ නෑ. අපට ආණ්ඩුවෙන් යන්න කීවොත් යන්න තැනක් නෑ.."
හිසට වහලක්, බතක් උයාගන්නට තැනක් නැතිව දුක් විඳිනා මිනිසුන් ජීවත්වෙන මේ රටේ සෝමාවතීත්, සඳමාලිත් වගකිව යුතු දේශපාලන නායකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට ඉතා කුඩා සිදුවීමක්, නිකම්ම නිකම් කාන්තාවන් දෙදෙනකු වන්නට ඇත. එහෙත් සෝමාතීත්, සඳමාලිත් ළඟට ගෙනත් දමන සතුන්ට නම් ඔවුන් දෙදෙනා තරම් දැනෙන වෙනත් ජීවියන් දෙදනකු නොමැත. කාත් කවුරුත් නැති ඔවුන් දෙදෙනාගේ ජීවිතය වී ඇත්තේද මේ සතුන්ගේ බඩ පුරවා, හව්හරණක් ලබා දීම පමණකි.

රාජගිරිය පොලිසියත්, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කෝට්ටේ මහ නගර සභා ගොඩනැඟිල්ලත් පෙනෙන නොපෙනෙන මානයේ සෝමාවතීත් සඳමාලිත් සතුන් සමඟ මේ කටුක ජීවිතය ගෙවයි. වගකිවයුතු නිලධාරීන්ගේ ඇල්ම බැල්ම වැටෙන ඉසව්වේ අවුරුදු පහළොවක් තිස්සේ ඔවුන් මේ ගෙවන ජීවිතය ගැන වගකිවයුතු කිසිම අයකුගේ ඇස නොගැටීම පුදුමයකි.

අයාලේ යන ලෙඩ වුණු, දුක්විඳින පූසන් බල්ලන් ඕනෑ තරම් මේ රටේ පාර තොටේ දක්නට ඇත. රාජ්‍යමය වශයෙන් උන් ගැන කිසිදු තීන්දුවක් තීරණයක් නිසි විදිහට නොගැනීම හා නිසි පරිදි රැගෙන ඇති ක්‍රියාමාර්ගද ක්‍රියාත්මක නොකිරීම නිසා ඔවුන් දිනෙන් දින බෝවන හැටිද දකින්නට පුළුවන. සෝමාවතීත් සඳමාලිත් මෙන්ම පාරේ දුක්විඳින දස දහසකුත් ඡන්ද හිමි මිනිසුන් ගැන නොසිතනා රටේ, නිදහස ලැබී වසර හැත්තෑවක් නොව සීයක් ගතවුවත් මෙවැනි සතුන්ට පිළිසරණක් වන, අයාලේ යන සුනඛ හා පූස් ගහනය පාලනය කිරීමට රාජ්‍ය විසින් සම්පාදනය කරන ලද නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක වන දිනයක් උදා වේ යැයි සිතිය නොහැකිය. එහෙත් මේ ලියන්නේ නොලියා බැරිකමටය. සෝමාවතීත් සඳමාලිත් විඳින දුක කිවයුතු නිසාමය.

නිවසේ හුරතලයට ඇති කරන පූසන් මෙන්ම බල්ලන් පැටවුන් බිහිකළ පසු එම පැටවුන් හෝ මවු සතාත් සමඟ පැටවුන් වෙනත් ස්ථානයක භාර දීමට හෝ අඩුම තරමේ පන්සලකට, පාසලකට, විශ්වවිද්‍යාල භූමියකට, නැතිනම් මහා මාර්ගයට හෝ ගෙනත් දැමීමට බොහෝ දෙනකු උත්සාහ කරයි. ගෙදර ඇතිකරන සුරතලුන්ට අදාළ එන්නත් මෙන්ම වඳ සැත්කම් කිරීමට රාජ්‍ය මට්ටමින් නොමිලයේ කිරීමට පහසුකම් ඇතත් ඒ පිළිබඳව නිසි අවබෝධයක් හා දැනුවත් කිරීමක් සහිතව ඇත්තේ කීයෙන් කීදෙනාදැයි නොදනියි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පශූ වෛද්‍ය කාර්යාල එකක් හෝ දෙකක් ස්ථාපනය කොට ඇත. වඳ සැත්කම් හා ජලභීතිකා එන්නත විදීම මෙන්ම සුරතල් සතුන්ට වැලඳෙන රෝගවලට නොමිලයේ වෛද්‍ය පහසුකම් එම ස්ථානවලින් ලබාගත හැකිය. ඔෟෂධ සඳහා සුළු මුදලක් වැය කිරීමට සිදුවන අවස්ථා ඇත.

මෙවැනි සේවාවන් නිසි ලෙස ඉටු කෙරෙනවාදැයි රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාස නැති ජනතාවට සැකයක් ඇති වීම සාධාරණයකි. සුරතල් සතකුගේ වඳ සැත්කමක් සඳහා සාමාන්‍යයෙන් පෞද්ගලික සේවයේ නියුතු පශු වෛද්‍යවරයකු රුපියල් 3500ක් 4000ක් වැනි මුදලක් අය කරයි. අධික ජීවන බරින් හා අතිශය කාර්යබහුල ජීවන රටාවකින් යුක්ත ජනතාවකට විශාල මුදලක් වැයකරමින් පශු වෛද්‍යවරුන්ගෙන් පෞද්ගලික සේවාවක් ලබා ගැනීමටද පැකිළෙන්නේ ස්වභාවයෙනි.

එසේම ආගමික විශ්වාසයන් මත අන් ජීවිත විනාශ කිරීමට ඇති බිය, පාපයට ඇති බිය, වඳ සැත්කමක් කළොත් කර්මය පල දේ වැනි කල්පනාවන් මත බොහෝ දෙනකු වන්ද්‍යකරණයට උත්සුක වන්නේ නැත. එහෙත් පැටවුන් බිහිකළ පසු ඔවුන්ගෙන් ඇතිවන පීඩාව දරාගත නොහැකිව ඔවුන් පන්සලකට, පාසලකට, විශ්වවිද්‍යාල භූමියකට එසේ ඉඩක් නොමැති නම් අඩුම තරමේ මහ පාරට හෝ ගෙනගොස් දමන්නේ අර පින් පව් කර්මය සියල්ල අමතක කරමිනි. එහෙත් උපන් සතුන් කෑමක් බීමක් නොමැතිව, වැස්සේ, වාහනවලට හසුවෙමින්, තුවාල කරගනිමින් විඳවන ජීවිත ගණනාවකට වඩා වැඩුණු ජීවියා වන්ද්‍යකරණයට ලක්කිරීම යහපත් නොවන්නේ කෙසේද?

අයාලේ යන බල්ලන් මැරීම 2007 වසරේදී නවතා දැමිණි. ඒ සත්ත්ව හිමිකම් සංවිධාන විසින් නැඟූ හඬවල ප්‍රතිඵල ලෙසිනි. මේ සත්ත්ව සංවිධාන හා රාජ්‍ය මට්ටමින් තීන්දු තීරණ ගන්නා පිරිස මේ සතුන්ගේ බෝවීම පාලනයට අවශ්‍ය වන්ද්‍යකරණය වැනි වැඩපිළිවෙළ ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට උනන්දු නොවීමේ ප්‍රතිඵල අද සෝමාවතීත් සඳමාලිත් විඳවන අයුරු දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ ජල භීතිකා රෝගය 95%ක්් වැලඳෙන්නේ බල්ලන්ගෙනි. 3%ක් පූසන්ගෙනි. 2%ක් වන සතුන්ගෙනි. අයාලේ යන බල්ලන් නිසා මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාව වැඩිය. පාසල්වල, විශ්වවිද්‍යාලවල මෙන්ම පන්සල් ආශි්‍රතව නිදැල්ලේ හැසිරෙන බල්ලන් ඕනෑ තරම් දැකිය හැකිය. මේ සතුන්ට හොඳ ජීවිතයක් ලබාදීමට තනි තනි පුද්ගලයා වශයෙන් ගතහැකි පියවර ඉතා අල්පය. ඒ සඳහා රාජ්‍ය මට්ටමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ හැකි තීන්දු තීරණ ප්‍රතිපත්ති ගතයුතුය. දනට පිනට කැමැති ජනතාවක් සිටින රටක මෙවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අපහසු වන්නේ නැත. අවශ්‍ය වන්නේ බොරු පුරසාරම් නොව වැඩය. ශක්තිමත් තීන්දුය.

රසිකා හේමමාලි
ඡායා : සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon