අධිකරණයට අපහාස කළැයි රිෂාඩ්ට එරෙහිව නඩු

  👤  3647 readers have read this article !
By mawbima 2018-07-13

 

කමල් මහේන්ද්‍ර වීරරත්න

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් අභියාචනාධිකරණය නොමඟ යැවීම සඳහා සම්පූර්ණ වශයෙන්ම සාවද්‍ය හා අසත්‍ය තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මඟින් අධිකරණයට බරපතළ අපහාසයක්

සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඊයේ (12දා) ජේ‍යෂ්ඨ නීතිඥවරයකු පැමිණිල්ලක් ගොනු කළේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබීය.ඇමැතිවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ විභාගයට නියමිතව ඇති විලත්තිකුලම් වන රක්ෂිතයේ හෙක්ටයාර 2108ක් නීති විරෝධී ලෙස හෙළි පෙහෙළිකොට මුස්ලිම් ජනපදයක් පිහිටුවීමේ සිද්ධියට අදාළ නඩුවේ ලේඛනයක් ලෙස මෙම දිවුරුම් පෙත්සම ඉදිරිපත් කොට ඇති බැවින් එකී හෙක්ටයාර 2108ක භූමිය එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදයට පෙර මුස්ලිම් ජනාවාසයක්ව තිබූ බවට එමඟින් සාවද්‍ය ප්‍රකාශයක් කොට ඇති බවත් පැමිණිල්ලෙන් ප්‍රකාශ වෙයි.

1972 හා 1991 යන වර්ෂ වලදී රජයේ මැනුම් දෙපාර්තමේන්තුව නිකුත් කළ රජයේ මැනුම් සිතියම් හා අදාළ ලේඛන අනුවද රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා හා ලේඛන මෙන්ම මැනුම් සිතියම් අනුවද ඉහත කී ප්‍රදේශය 'විලත්තිකුලම් වන රක්ෂිතය' ලෙස පැහැදිලිවම සටහන්ව තිබියදීත් වගඋත්තරකාර _ විත්තිකාර ඇමැතිවරයා මෙවැනි කූට ලේඛනයක් දිවුරුම්පිට ඉදිරිපත් කරමින් බරපතළ ලෙස අධිකරණය හෑල්ලුවකට ලක් කිරීමටත් මුළාකොට නොමඟ යැවීමකටත් ක්‍රියා කිරීම මඟින් සිදුකර ඇත්තේ කුමන ආකාරයකින්වත් ලඝු කොට සැලකිය නොහැකි ආකාරයේ බරපතළ දුශ්චර්යාවක් බවත් පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා සිටී.

එබැවින් ඔහුට එරෙහිව අප්‍රමාදවම අධිකරණ විධිවිධාන පනතේ අංක 105 (3) වගන්තිය යටතේ නඩු විභාගයක් පවත්වන ලෙසටත් සිදුකරනු ලැබ ඇති වරද සම්බන්ධයෙන් අදාළ දඬුවම් නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස 'නයිසයි' ආඥාවක් මඟින් නියෝග කරන ලෙසටත් අනතුරුව අදාළ දඬුවම් පමුණුවන ලෙසටත් පැමිණිල්ල වැඩිදුරටත් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon