තෙල් මිල වැඩි කර ජනතාව සූරා කනවා

  👤  3444 readers have read this article !
By mawbima 2018-07-13

මෙරට ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයි දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බවත් ඉන්ධන මිල නිතරම අඩු වැඩි කිරීම තුළින් ආණ්ඩුව සැරසෙන්නේ අවුරුද්ද අවසානයේ ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබාගැනීමට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ නවතම මිල වැඩි වීම සාධාරණීකරණය කිරීමට මිල සූත්‍රයක් ගැන කතා කළත් කිසිවකුත් එවැනි මිල සූත්‍රයක් මෙතෙක් දැක නැති බවයි.

සති 8ක කාලයත් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලේ වැඩිවීමක් අත්දකින පළමු අවස්ථාව මෙය විය හැකි බවද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අද පෙට්රල් ලීටරයක මිල රු. 145ක් වන අතර ඩීසල් ලීටරයක මිල රු. 118ක් වේ. බොරතෙල් බැරලයක අද දවසේ ලෝක වෙළෙදපොළේ මිල ඇමෙරිකානු ඩොලර් 74ක් පමණ වේ. මීට අවුරුදු 10කට පෙර එනම් 2008දී අද පවතින මිලට වඩා බෙහෙවින්ම ඉහළ මිලක් වූ ඇමෙරිකානු ඩොලර් 97කට බොරතෙල් බැරලයක් මිලදී ගන්නා අවස්ථාවේදී පෙට්රල් ලීටරයක දේශීය මිල රුපියල් 120ක් වූ අතර ඩීසල් රුපියල් 70ක් විය. අපේ ආණ්ඩුව රට පාලනය කළ අවුරුදු 09 ඇතුළත ලෝක බොරතෙල් මිල හැමදාම පැවැතියේ ඉහළ මට්ටමකය. මහ බැංකු වාර්තාවලින් පෙන්වා දෙන පරිදි 2005 නොවැම්බර් මාසයේදී මා මුල්වරට බලයට පැමිණෙන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73ක් විය. ඉන්පසු දිගටම එම මිල වැඩිවූ අතර අපේ පාලනයේ අවසන් අවුරුදු හතර වන 2011, 2012, 2013 හා 2014 යන වසරවලදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො. 109කට වඩා වැඩිවිය. එම නිසා බොරතෙල් බැරලයකට ඇ.ඩො. 74ක් යනු අපේ ආණ්ඩුව රට පාලනය කළ සමයට වඩා බෙහෙවින්ම අඩු මිලකි.

මේ ආකාරයෙන් මිල හැසිරවීම මහා පරිමාණ සිල්ලර වෙළෙඳ සමාගම් වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා යොදන උපක්‍රමයකි. ආණ්ඩුව මේ ඉන්ධන මිල වැඩි කිරීම සිදුකළ සූක්ෂ්ම ආකාරයද ජනතාව නිරීක්ෂණය කළ යුතුය. මුලින්ම ඉන්දීය තෙල් සමාගමට මිල වැඩි කිරීමට ඉඩදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැරැණි මිලටම විකුණයි. ටික දවසක් ගොස් ඉන්ධනවලට වැඩි මුදලක් ගෙවීමට ජනතාව හිත හදාගත් පසු ඛනිජ තෙල් සංස්ථාවේ මිලද වැඩි කරනු ලබයි.

එක්වරම ඉන්ධන මිල වැඩි කිරීමට වඩා ඒ ආකාරයට වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කර ගැනීමට ඔවුන් මාන බලයි. මේ සියල්ල කරනු ලබන්නේ ඉන්ධන මිල හැසිරවීම තුළින් ජනතාව මහා පරිමාණ සූරා කෑමකට ලක් කිරිමට බව පැහැදිලිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon