මෙහෙම ගියොත් පළාත් සභා ඡන්දය තියන්නම බෑ - මැ.කො. සභාපති

  👤  3478 readers have read this article !
By mawbima 2018-07-13

ජේ.ටී. ද සිල්වා

පළාත් සභා ඡන්ද විමසීම සඳහා අදාළ නෛතික අවශ්‍යතා පාර්ලිමේන්තුව විසින් සම්පූර්ණ නොකළහොත් දැනට නිල කාලය අවසන් වී ඇති හා ඉදිරියේදී නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභාවල ඡන්ද විමසීම කිසිසේත්ම පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම'ට පැවැසීය.

මේ වනවිට නැඟෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇතැයිද මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේ අවසන් වීමට නියමිතව ඇතැයිද පැවැසූ සභාපතිවරයා පවතින තත්ත්වය යටතේ එම පළාත් සභා හයේම ඡන්ද විමසීම අදාළ නෛතික අවශ්‍යතා සම්පූර්ණ නොකළහොත් සිදු කළ නොහැකි බව අවධාරණය කරයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දැඩි උත්සාහයක යෙදුණු බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කථානායක, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්, පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් සහ ලේකම්වරුන් ඇතුළු අනෙකුත් සියලුම අංශ දැනුවත් කර ඇති අතර ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග හතරක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් පාලන ආයතන, පළාත් සභා යටතට ගැනෙන බැවින් පසුගියදා පැවැත්වූ පළාත් පාලනආයතන ඡන්ද විමසීමෙන් තේරීපත් වූ මහජන නියෝජිතයන්ට නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා නිසි ක්‍රියාකාරිත්වයේ ඇති පළාත් සභා අවශ්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අනුව ඒ සඳහා මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පළාත් සභාවල ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය බවත් සියල්ලටම ඉහළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති 'ජනතා පරමාධිපත්‍ය' බලපැවැත්වෙන හෙයින් පළාත් සභා ඡන්ද විමසීම් නියමිත කාලසීමා නොඉක්මවා පැවැත්වීමට අවශ්‍ය වන ව්‍යවස්ථාපිත වාතාවරණය සකස් කරදීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන් වෙත පැවැරෙන එසේම පැහැරහැරිය නොහැකි වගකීමක් බවද සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

ඡන්ද බලය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය බැවින් එයට අදාළ ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව ඡන්ද විමසීම හෙයින් මෙම ඡන්ද විමසීම තවදුරටත් කල්දැමීමකින් තොරව පැවැත්වීමට අවශ්‍ය නෛතික අවශ්‍යතා සම්පූර්ණ කරදීමේ වගකීම පාර්ලිමේන්තුව සතු වන බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon