ජන ඝාතක ගොට්ලර්ලා මේ රටට ඕනෑ නෑ

  👤  3525 readers have read this article !
By mawbima 2018-07-13

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවත්, එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පවත්වමින් එල්.ටී.ටී.ඊ. යළි හිස ඔසවන බවට විපක්ෂය ජාතිවාද වැපිරීමේ උත්සාහයක යෙදීම රටට හානිදායක බවත්, එජාපයේ නායකයන් ගණනාවක් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ.යට යළි හිස එසවීමට නොහැකි ලෙස හමුදාව ආරක්ෂාව තරකර ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කරයි.

විපක්ෂය කියන ආකාරයට උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කර නොමැති බව පවසන අමාත්‍යවරයා උතුරේ සිටින සීමිත එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් හිටි හැටියේ පෝස්ටරයක්, බැනරයක් ප්‍රදර්ශනය කර එය අන්තර්ජාලයට මුදාහරිනවා මිස එල්.ටී.ටී.ඊ.යේ නැඟිටීමක් උතුරේ සිදුනොවන බවත් යුද්ධයෙන් බැටකමින් දීර්ඝ කාලයක් පීඩා විඳි උතුරේ ජනතාවගෙන් ඒ සඳහා කිසිදු සහායක් නොලැබෙන බවත් අවධාරණය කරයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (12දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළකළ අමාත්‍යවරයා තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ.යට සැමරුම් උත්සව පැවැත්වීමට රජය කිසිදු අයුරකින් ඉඩක් නොතබන බවද ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසුවේය.

රජයේ වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්කිරීමට විපක්ෂය විවිධ උපක්‍රම උප්පරවැට්ටි ක්‍රියාත්මක කරනවා. අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. අපේ රට ජාත්‍යන්තරය සමඟ බැඳීම් තහවුරු කරගන්න විශාල කැපවීමක් කළා. ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ වැරැදි මත නිවැරැදි කරගන්නට අපට හැකි වූවා. මානව හිමිකම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත්වූවා කියා අප ඉවත්විය යුතු නැහැ. ඇමෙරිකාව ඉවත්වූ නිසා අප ශක්තිමත් වී සිටිනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ මානව හිමිකම් චෝදනාවලට මුහුණ දෙන්න බැරිවුණා. අප ඒවාට මුහුණදී ජයග්‍රහණ ලබාගත්තා.

විපක්ෂය ජාතිවාදය, ආගම්වාදය, පතුරවමින් උත්සාහ කරන්නේ යළි බලය ලබා ගන්නයි. එදා චෝදනාවලට ලක්වූ අජිත් නිවාඩ් කබ්රාල්ලා, නාලක ගොඩහේවා වගේ අය අද නැවතත් එළියට බැහැලා. මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ අපි කඩිනමින් ආරම්භ කරනවා. හොරු අල්ලන්නේ නෑ කියලා අපට එල්ලවූ චෝදනා නිසා පසුගිය පළාත් පාලන ඡන්දයේදී අපට බලපෑම් ඇති වුණා. අප සිදුවූ වැරැදි නිවැරැදි කරගෙන ඉදිරි කටයුතු සැලසුම් සහගතව කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයාගේ නඩු ටික කඩිනමින් අහන්න කියලා. රාජපක්ෂ පාලන කාලයේදී වගේ අපි අධිකරණ කටයුතුවලට මැදිහත් වෙන්න, ඇඟිලි ගහන්න, බලපෑම් කරන්න යන්නේ නැහැ. එහෙම කළොත් අධිකරණයට එම කටයුතු ස්වාධීනව කරගන්න හැකියාවක් නැහැ.

ඒ වගේම අපේ රටට හිට්ලර්ලා ගොට්ලර්ලා අවශ්‍ය නැහැ. හිට්ලර්ගේ සම්මිශ්‍රණයක් වූ ගොට්ලර්ලාට ලක්ෂ ගණන් ජනතාව ඝාතනය කරන්න ඉඩ දෙන්න බැහැ. රාජපක්ෂ සහෝදර සමාගමේ වගේ අපට ගැටලු නැති නිසා දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපට පුළුවන්.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon