මම බලය බෙදීම පිළිගන්නවා

  👤  3644 readers have read this article !
By mawbima 2018-07-13

 

ජනාධිපතිවරයා ලෙසත්, තම දේශපාලන ප්‍රතිපත්තිය තුළත් බලය බෙදීමේ ප්‍රතිපත්තිය පිළිගන්නා බව පැහැදිලිව කිව යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.
රට නොබෙදෙන, ෆෙඩරල් නොවන බලය බෙදීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පියවර කිහිපයක් ඉදිරියට යා යුතු බවද ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බස්නාහිර පළාත් සභා නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (12දා) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අපේ රටේ පළාත් සභා ක්‍රමය හදිසියේ ඇති වූ තත්ත්වයක් නෙමෙයි. 1948 බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමටත් පෙර 30-40 දශකයේ සිට මේ රටේ බලය බෙදීම සම්බන්ධයෙන් විවිධ සංවාද ඇති වුණා.

මේ වනවිටත් නොයකුත් වාද විවාද ඇතිවෙනවා. තවදුරටත් පළාත් සභාවලට වැඩිපුර බලය ලබා දෙනවා නම් එහි සීමාව කොතෙක් විය යුතුද, දැනට තිබෙන බලතල හා ව්‍යවස්ථාපිත තත්ත්වයන්, අඩුපාඩුකම් හා දුර්වලතාවන් සියල්ල අධ්‍යයනය කරමින් විධිමත් ලෙස සිදු කළ යුතු වෙනවා.

මගේ පෞද්ගලික දේශපාලන ප්‍රතිපත්තිය තුළ මෙන්ම මේ රටේ ජනාධිපතිවරයා ලෙසත් මම බලය බෙදීමේ ප්‍රතිපත්තිය පිළිගන්නවා. එය බොහෝම පැහැදිලිව කිව යුතුයි. බලය බෙදීමේ ප්‍රතිපත්තියේදී ලෝකයේ එක් එක් ආණ්ඩුක්‍රම මෙන්ම රටවල සංස්කෘතික තත්ත්වයන් හා ඊට අදාළ විවිධ ක්ෂේත්‍ර ගැන අධ්‍යයනයක් කිරීම ඉතාම වැදගත්. එහිදී නීති විශාරදයන්, දේශපාලන විශාරදයන් ඉදිරිපත් කරනු ලබන අදහස් මෙන්ම, බලය බෙදීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී රටක් තුළ පවතින සංස්කෘතික භෞතික තත්ත්වයන්, සම්පත් හා ප්‍රමීතීන් ආදී සියල්ල සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා.

උතුරේ ඇතිවන හඬ මොකක්ද කියලා ඔබටත් මටත් රහසක් නොවෙයි. ඒ වගේම බලය බෙදීම සම්බන්ධයෙන් තියෙන විවිධ අදහස් හා මතවාද කෙසේ වෙතත් මේ රටේ හෙට දවස වඩාත් වාසනාවන්ත කිරීම අපේ අරමුණක්. දේශපාලන ස්ථාවරත්වයක් සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා සහයෝගයෙන් හා සංහිඳියාවෙන් ජීවත් වීමට හැකි පරිදි රටක් ලෙස ඉදිරියට යන්න, රට නොබෙදෙන, ෆෙඩරල් නොවන, බලය බෙදීම සම්බන්ධයෙන් පියවර කිහිපයක් ඉදිරියට හා යුතුයි. එහිදී විවිධ අදහස් මත පළවෙනවා. පැහැදිලි ලෙසම රට බෙදන්න අපි කවුරුත් කැමැති නෑ. ෆෙඩරල් ක්‍රමයට අපි කවුරුත් කැමැති නෑ. නමුත් මේ රටේ තිබෙන සංවර්ධන විෂමතාවන් අප විසින් හඳුනා ගතයුතු වෙනවා.

උතුරේ ගම්මානවලට ගියොත්, ඔවුන්ගේ සමාජ, සංස්කෘතික, ආර්ථික තත්ත්වයත් බස්නාහිර පළාතේ තියෙන ආර්ථික, සමාජ සංස්කෘතික තත්ත්වයයි අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. දුගී භාවය ඉන් එකක්. නිදහස් අධ්‍යාපනයේ නිසි ප්‍රතිඵල රටේ සෑම ප්‍රදේශයකම දරුවන්ට ලැබෙනවාද? නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිඵල රටේ සෑම කෙටසකටම ලැබෙනවාද? ඒ වගේම තමයි අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ තත්ත්වයන්.

පසුගිය දවස්වල උතුර නැඟෙනහිර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු පිරවීමට හෙද සේවාවේ හා අනෙකුත් කනිෂ්ඨ සේවාවන්වල බඳවා ගැනීම්වලට ඇතිවී තිබෙන විරෝධය මං දැක්කා. නමුත් මා සෞඛ්‍ය ඇමැති විදියට වසර 5ක් සිටි නිසා දන්නවා, උතුර නැඟෙනහිර පුරප්පාඩුවලට ඉල්ලුම් පත්‍ර කැඳෙව්වත් එන්නේ නැහැ. ඒ වගේම පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් ගත්විට මේ පැහැදිලි වෙනස්කම් තිබෙනවා.

ෆෙඩරල් නැති, රට නොබෙදෙන ඒකීය රටක පළාත් සභා බලතල තව වැඩි කිරීමට මා සම්පූර්ණයෙන් එකඟයි.

පහන් විජේසේකර
ඡායා - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon