රනිල්ට ආණ්ඩු කරන්න බැරි බව මෛත්‍රිට තේරිලා ඉවරයි

  👤  3811 readers have read this article !
By mawbima 2018-07-13

අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ තවදුරටත් ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි බව ජනාධිපතිවරයා දැන් හොඳටම තේරුම්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසයි.

එම නිසා හැකි ඉක්මනට මේ හවුල් ආණ්ඩුව අෑවර කිරීමට සිය කණ්ඩායම හැකි උපරිමයෙන් කටයුතු කරන බවද මන්ත්‍රිවරයා නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මෙසේද පැවැසීය.

ආණ්ඩුව අන්ධානුකරණයෙන් බටහිර රටවලට ගැතිවෙලා වන්දනා කරනවා. පසුගිය දවසක තෙල් මිල වැඩි කළා. ජනාධිපතිවරයාට කිව්වෙ නෑ. එතුමා පහුවදාම ඒක අවලංගු කළා. පසුව කැබිනට් එකේදී සතුටින් ඒකට එකඟ වෙලා යළි වැඩි කළා.

ලෝකේ බොහෝ රටවලින් බිස්කට්, ටොෆි වැනි දේවල් ශීඝ්‍රයෙන් ගලා එනවා. මේ නිසා දේශීය කර්මාන්තය බිඳවැටෙනවා. මේ නිසා බිස්කට් කර්මාන්තකරුවන් ජනාධිපතිවරයා හමුවුණා. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද මේ ගැටලුවට මැදිහත් වෙලා ජනාධිපතිවරයාට කිව්වා. පසුව ජනාධිපතිවරයා කියලා තියෙනවා එය කරන්න දෙන්නෙ නෑ කියලා. මේ මිල වැඩි කිරීම වුණා නම් අපේ දේශීය බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුව මේවා කරන්නෙ විදේශීය සමාගම් සතුටු කරන්නයි.

කැබිනට් පත්‍රිකාවක් ආවා. කෙරවළපිටිය දෙවැනි විදුලි බලාගරය හැදීම සඳහා. මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් දැම්මා. මේ සඳහා. 'ලක්දනවි' කියලා දේශීය කර්මාන්තකරුවෙක් ඉල්ලුවා. යුනිට් එකක් හදන්න යන අඩුම වියදම දාලා තිබුණේ 'ලක්දනවි' සමාගම. පසුව මේක මේ අයට දෙන්න වුණා. චීන සමාගමට මේ සඳහා අභියාචනා කරන්න ඉඩ දුන්නා. චීන සමාගම දාලා තියෙන කරුණු 10 හරි කියල අමාත්‍යාංශ ලේකම් සඳහන් කරල තියෙනවා. මේ සඳහා චීන සමාගමෙන් අල්ලස් අරන් තියෙනවා. මේක පිටුපස්සෙ ඉන්න ඇමැතිවරු අපි දන්නවා. ඒක චීන සමාගමට දැන් දෙන්න ඒ ඇමැතිවරු දඟලනවා. ඒ සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. නඩුව අවසන් වනතුරු කැබිනට් පත්‍රිකාව අනුමත කරන්න කල් දාලා තියෙනවා. ජනාධිපතිවරයාත් නොදැනුවත්ම තමයි. ඒ ටෙන්ඩරය චීන සමාගමට දෙන්න යන්නෙ.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති පසුගිය අවුරුදු 3 තුළ ක්‍රියාත්මක කරපු නිසා රටේ ආර්ථිකය විනාශ කළා. ඒ නිසා ජාතික ආර්ථික සභාව කියලා ජනාධිපතිවරයා නව කමිටුවක් දැම්මා. මාස දෙකක් විතර මහන්සි වෙලා එහි ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවා. අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ඒක ඉදිරිපත් කරන්න දුන්නෙම නෑ. ඒ සාකච්ඡාව අගමැති, මුදල් ඇමැති කඩාකප්පල් කළා.

දැන් අපි ඒකාබද්ධ පෙරමුණෙන් විපක්ෂයේ කණ්ඩායම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා. ජනාධිපතිවරයා දැන් තේරුම් අරන් තියෙන්නෙ රනිල් එක්ක මේ ගමන යන්න බෑ කියලා. අපි පුළුවන් තරම් ඉක්මනට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට ගන්නවා. එහෙම අරගෙන හැකි ඉක්මනට අපි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා. මෛත්‍රි - මහින්ද එකතු වුණෙත් අපිට ඒක කරන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා
ඒකාබද්ධ පොදු පෙරමුණ නමින් විපක්ෂයේ ඉන්න බලවේග එකතු කරලා දැවැන්ත පුළුල් පෙරමුණක් හදන්න ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. අපි 16 දෙනාම සතුටු වෙනවා අපි ආණ්ඩුවෙන් එළියට බහිනකොට කතිකාකරගත්තු විදියට ඒ පුළුල් සන්ධානයට සහාය දෙනවා.

මේ වෙනකොට ඉතාම භයානක ගිවිසුමක් අස්සන් කරන්න ආණ්ඩුව දඟලනවා. එයින් පස්සෙ අපේ රට සිංගප්පූරුවේ වෙළෙඳ භාණ්ඩයක් වෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්න ගත්තොත් අපිට කිසිම හව්හරණක් නැති වෙනවා.
මේ ගිවිසුම අස්සන් කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරු මෙසේ පැවැසූහ.

බහුතර බලයක් නොමැතිව කොහොමද සිංගප්පූරු ගිවිසුම පරාජය කරන්නෙ?

පාර්ලිමේන්තුවේ මේ ගිවිසුම පරාජය කරන්න අපට පුළුවන් වෙන්නෙ ටී.එන්.ඒ. මන්ත්‍රිවරුන් එක්ක එකතු වෙලා. ඒ අයටත් මේක බලපානවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් මේකට විරුද්ධයි.

ඇයි මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අතර මත ගැටුම් තියෙන්නෙ?

මොන මත තිබුණත් යූ.එන්.පී. පරාජය කරන්න ඕන ගමනේදී අපි එකට ඉන්නවා.

දයාසිරි ජයසේකරට 16 ගැන කලකිරීමක් තියෙනවාද?

අපි හදන්න 70 කණ්ඩායම 80 කරන්න. ඒකෙදී අප අතර මත ගැටුම් තියෙන්න පුළුවන්. හැබැයි අරමුණ එකයි.

ඔබතුමා තවම ශ්‍රී ලනිප තනතුරුවල ඉන්නවාද?
ඔව්.
එහෙනම් ඇයි ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමා මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කෙළේ?

මාව මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කළ එකට ස්තුතිය පළ කරලා ජනාධිපතිවරයාට ඊමේල් පණිවුඩයක් හෙට යවනවා.

අලුත් සන්ධානයේ නායකත්වයට ගෝඨාභය රාජපක්ෂගේ නමත් කියැවෙනවා නේද?

ගොඩනැඟෙන සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා තමයි. ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයට ඉල්ලන්න බෑ. ජනාධිපතිවරයා සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ නමත් කියැවෙනවා තව අයගෙ නම් කියනවා. හැබැයි එතුමා පරිස්සම් විය යුතුයි. වියත්මඟ සංවිධානයෙන් ඒකෙ ‍ෙදාඩවන සරත් වීරසේකර, කමල් වගේ මහත්තුරු නිසා ජාතිවාදී ලේබලයක් ගෝඨාභය මහත්තයට වදිනවා. ඒ නිසා එතුමාට හැම ජන කොට්ඨාසයටම දිනාගන්න බෑ. ඒ හැම ජන කොට්ඨාසයම එකතු කරගන්න පොදු සාධකය තමයි 16 කණ්ඩායම.

ශ්‍රී ලනිප මහ ලේකම්කම දයාසිරිට දෙන්න යනවා නේද?

එතුමාට ඒ තනතුර හම්බෙනවානම් ඒක බොහොම හොඳයි. එතුමා අපේ කණ්ඩායමේ කෙනෙක්. අපි ඒකට බොහොම කැමැතියි.

මරණ දඬුවම යළි ගේන්න කටයුතු කරල තියෙනවා නම් ඒ ගැන මොකද හිතන්නේ?

එස්.බී. දිසානායක
ඒක බොහොම හොඳ යෝජනාවක්.

මගේ පෞද්ගලික මතය නම් වැරැදි කරපු අයට දඬුවම් දෙනවා වෙනුවට වැරැදිවලින් බේරා ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුයි.

රුචිර දිලාන් මධුශංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon