සුගතදාස පිටියේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවේදී සුසන්තිකාගෙන් සැර කතාවක්

  👤  3592 readers have read this article !
By mawbima 2018-07-13

තම හැකියාවන්ගෙන්, ප්‍රසිද්ධියෙන් සහ කැපවීමෙන් යමක් කළ හැකි කාලයේදී තමන්ගෙන් රටට සේවයක් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වර්තමාන ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට ස්තුතිවන්ත වන බවත් එතුමාගේ ක්‍රියාකලාපය අනෙක් ක්‍රීඩා ඇමැතිවරුන්ටත් ආදර්ශයක් බවත් ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකාවක් මෙන්ම සුගතදාස ක්‍රීඩා සංර්ණයේ අධ්‍යක්ෂිකාවක් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා (10දා) පැවැති ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු සහ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නිර්මාතෘ ඒ. වී. සුගතදාස මැතිතුමාගේ ගුණ සමරු උළෙලට සහභාගි වෙමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ බව පැවැසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය "අද විශේෂ දවසක්. අප කවුරුත් දන්නා පරිදි සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සමස්ත රටේම සම්පතක් ලෙස දායාද කළ ඒ. වී. සුගතදාස මැතිතුමාගේ ජන්ම සැමැරුම් උළෙල අදට යෙදී තිබෙනවා. එතුමා මෙවන් සම්පතක් රටට දායාද නොකළා නම් අපට දුවන්න තැනක් නැහැ. ඒක මම වසර 20ක් ක්‍රීඩා කරපු සහ වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරිනියක් වශයෙන් නිර්භීතව ප්‍රකාශ කරනවා, අපට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය තිබුණත් ක්‍රීඩා ගණනාවක් සිදුකළ හැකි ක්‍රීඩා සංකීර්ණයක් තිබෙන්නෙ මෙපමණයි. එම ක්‍රීඩා සංකීර්ණය හරහා තමයි මට පුළුවන් වුණේ මගේ මාතෘ භූමියට ලෝක මට්ටමේ ජයග්‍රහණ 4ක් ගෙන එන්නට. අපට කොපමණ ශක්තිය තිබුණත් තණකොළ සහිත පිටියක දුවල එම ජයග්‍රහණ ගේන්න බැහැ. එම නිසා මෙම ක්‍රීඩා සංකීර්ණය රටට දායාද කිරීම ගැන ඒ. වී. සුගතදාස මැතිතුමන්ට අප ස්තුතිවන්ත විය යුතුයි. එතුමාගේ ක්‍රියාකලාපය ක්‍රීඩාවට යමක් කරපු සහ කිරීමට බලාපොරොත්තු වන සෑම නිලධාරියකුටම ආදර්ශයක්." යනුවෙන්ද පෙන්වා දුන්නාය.

වර්තමානයේ ඉතාමත් බුද්ධිමත්, ඥානවන්ත සහ ක්‍රීඩාවේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම විශේෂයෙන් නීතිය සම්බන්ධයෙන් ඉහළ වටිනාකමක් තිබෙන ක්‍රීඩා අමාත්‍යවරයෙක් සිටින බවත් පැවැසූ ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නිලධාරීන් ක්‍රීඩාවට නියම වටිනාකම, මඟපෙන්වීම ලබා දෙමින් සිදුකරනු ලබන සේවය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon