මේ ආණ්ඩුව හොරුන්ගේ බෙල්ල අතහැරලා ජනතාවගේ බෙල්ල මිරිකනවා

  👤  3486 readers have read this article !
By mawbima 2018-07-13

රැකියා විරහිත 57,000ක් වන උපාධිධාරීන් තවදුරටත් තොරොම්බල් කරමින් සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් අරගල කිරීමේ ඉදිරි පෙළින්ම සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළ බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

අරගල ආරම්භ වූ පසු සියලු අරගල, උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ජ.වි.පෙ. බවට චෝදනා නොකළ යුතු බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අද හොරු තකතීරුවෝ වෙච්ච ඇමැතිවරු මන්ත්‍රිවරු උපාධිධාරීන් කුණු කූඩෙට දාලා උපාධිය බාල්දු කරනවා. පාර්ලිමේන්තුවේදී අධීක්‍ෂණ තනතුරු ගන්නවා. විවිධ වරප්‍රසාද වැඩි කර ගන්නවා. විගණන පනතින් හොරුන්ට ගහන දඩය අඩු කරලා ජනතාවගේ දඩය වැඩි කරනවා. ජනතාවගේ බෙල්ල මිරිකලා හොරුන්ගේ බෙල්ල බුරුල් කරන ආණ්ඩුවක් මේක. එදා බයිසිකලේ වෙනුවට කාර් එකේ යන්න හීන දැකපු ජනතාවත් මේ බව තේරුම් ගත යුතුයි යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා පැවැසුවේ ඊයේ (12දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ඊට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියාරච්චි මහතාද සහභාගි විය.
මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

අපේ රටේ උපාධිධාරීන්ට හා උපාධිධාරි නොවන සෑම අධ්‍යාපන මට්ටමක් දරන සෑම දරුවකුටම රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි. රජයේ ඕනෑම ආයතනයක පුරප්පාඩු තියෙනවා. සැලකිය යුතු රාජ්‍ය සේවකයන් පිරිසක් විශ්‍රාම යනවා. මේ ගැන කිසිදු සංගණනයක් නෑ. මැතිවරණයක් කිට්ටු වුණාම රැකියාවක් දෙන පොරොන්දු පිට දේශපාලනඥයන්ගේ ආවතේව කරවා ගන්නවා ඔවුන්ට කියලා.

මීට මාස 11කට කලින් උපාධිධාරීන්ව ලියාපදිංචි කිරීම ගැසට් කළා. ඉතාම අසාර්ථක අන්දමින් තමයි සම්මුඛ සාකච්ඡා පැවැත්වුවේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කමිටුවට සියලු අයැදුම්පත් ලැබිලා තියෙනවා. ඒ සම්මුඛ පරීක්‍ෂණවලට ආපු උපාධිධාරීන්ට කිව්වා ඕගොල්ලෝ ගන්නට නෙමේ ඉන්ටර්වීව් කරන්නේ කියලා. උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට බඳවා ගන්න තීරණය කළේ 20,000යි. ඒත් කඩින්කඩ පළමුවැනි කණ්ඩායම පසුගිය ජුනි බඳවා ගැනීමට නියමිතව තිබුණා. දැන් ඒවා නවත්තලා නැවත වතාවක් 2018 ජුනි 10 සිට නැවත ලියාපදිංචි ක්‍රියාවලියක් ගැසට් කරලා. මේ කරන්න හදන්නෙත් රැකියා දෙන්න නෙවේ. රැකියා දෙන්නම් ඉන්ටර්වීව් කරන්නම් කියලා කැරට් අලයක් පෙන්නනවා. ඔවුන් දේශපාලන අතකොලුවක් බවට පත් කරගන්න මේ සැලසුම. අවම සුදුසුකම 30 වෙන්න ඕනෑ කියනවා. හැබැයි අවුරුදු 36 වෙන තුරු ඒ උපාධිධාරීන් රස්තියාදු කළේ ආණ්ඩුව.

නැවත සම්මුඛ පරීක්‍ෂණ කරන්න යනවා. අපිට ආරංචියි බාහිර උපාධිධාරීන් ඊට ඇතුළු කර නොගන්න බව. දැන් බාහිර උපාධි කුණු කූඩෙට දාලා. මුලින් ආණ්ඩුව කියන්න ඕනෑ බාහිර උපාධිය උපාධියක් නෙමේද කියලා. අද වනවිට රැකියා නැති උපාධිධාරීන් 57,000ක් ඉන්නවා. මේ 57,000ට රැකියා තියෙනවද කියන එක ඊළඟට සැලකිය යුතුයි. ඉගෙන ගත් දරුවාගේ වරදක් නෙවෙනේ. මෙතෙක් කිසිදු ආණ්ඩුවක් උපාධිධාරීන්ට රැකියා දෙන ජාතික ප්‍රතිපත්තියක් සකසා නෑ. අපි කියනවා සියලු උපාධිධාරීන්ට කඩිනමින් ඒ ඒ උපාධි මත රැකියා දිය යුතුයි. මැතිවරණය තෙක් ඇදගෙන යා යුතු නෑ.

වරින්වර සම්මුඛ පරීක්‍ෂණ කැඳවා නැවත ගෙදර යවා නැවැතත් සම්මුඛ පරීක්‍ෂණ කැඳවීමේ විකාරය වහාම නැවත්විය යුතුයි. උතුරු - නැඟෙනහිර උපාධිධාරීන් බොහොමයකටත් මේ ප්‍රශ්නය කියෙනවා. හැබැයි රජයේ ආයතනයකට ගියාම භාෂා පරිවර්තකයකු හොයා ගන්න නෑ. උතුරු - නැඟෙනහිර දරුවොත් අද උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව දෙමළ භාෂාවෙන් වැඩ කරන පුරප්පාඩු තියෙද්දී නොසලකා හැරලා.
එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුර දෙමින් මෙසේද කීය.

ප්‍ර. පෙරේදා ජනාධිපති විසින් මත්කුඩු අලෙවි කරන්නන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කරන බව පැවැසුවා. ජ.වි.පෙ. අදහස මොකක්ද?
පි. වැරැදිකරුවෝ ඉබේ බිහිවෙන්නේ නෑ. මත්කුඩු විකුණන අය වගේම මත්කුඩු ගෙන්නන අය ගැන මොකක්ද ගන්න පියවර? එල්ලන්න ඕනෑ මේ විවෘත ආර්ථිකය. මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක සංවාදයක්. රටේ නීති රීති තියෙද්දී, ගුවන්තොටුපළ, වරාය විමර්ශන තියෙද්දී කුඩු කන්ටේනර් ගේන්න ප්‍රබල දේශපාලනඥයන් මැදිහත් වන බව පැහැදිලියි. මේ සංස්කෘතිය බෝ කරපු දේශපාලනඥයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි එහෙනම්.

ප්‍ර. ජනපති අපේක්‍ෂකයා ගැන බෙදුණු ස්වභාවයක් දැන් ප්‍රචාරය වෙනවා. ගෝඨාභය මහතා කරළියට එද්දී කුමාර වෙල්ගම, වාසුදේව මන්ත්‍රිවරුන් තව අය ගැන කියනවා?
පි. අද ඕක රැකියා ප්‍රශ්නයට බලපාන්නේ කොහොමද? තෙල් ප්‍රශ්නයට බලපාන්න කොහොමද ඔය කියූ සියලු දෙනා අද ආණ්ඩුවේ ඉන්නවා. ඔබලාමයි ප්‍රචාරය කරන්නේ ඒවා ගැන. ප්‍රචාර වෙනවා නොවේ. ආයේ මේ අය එන්නේ හොරකම් කරන්න. එහෙම මහජන මුදල් හොරකම් නොකරන එක්කෙනෙක් ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද? මාධ්‍යට රැකියා ගැන කියද්දී මාධ්‍ය අහනවා ගෝඨාභය හොඳයිද? බැසිල් හොඳයිද? චමල් හොඳයිද කියලා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon