උදෙන්ම වැඩට ගිය මහත්තයා පෙට්ටියකින් ගෙදර එයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ

  👤  4254 readers have read this article !
By mawbima 2018-07-13

පල්ලේබැද්ද -සිසිර පීල්ලදෙණිය

"තව මාස ගාණයි රැකියාව කරන්න තියෙන්නේ. ඒ ටික කාලෙත් පොලිසිය වෙනුවෙන්ම හරියට රාජකාරි කරලා විශ්‍රාම යනවා. විශ්‍රාම ගිය දවසට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අවංකවම රාජකාරි කරන අපි වගේ අයට විතරයි. ඒ හින්දා මම අද උදෙන්ම පොලිසියට යනවා කියලා වැඩට ගිය මහත්තයා පෙට්ටියකින් ගෙදර එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.

මහත්තයා දරු දෙන්නාගේවත්, මගේවත් කවදාවත් හිත රිදෙන්න වචනයක්වත් කතා කරලා නැහැ. අනේ මගේ රත්තරන් ඉපදෙන ඉපදෙන ආත්මයක් ගාණේ මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන මොනව කියන්නද? අපේ බලාපොරොත්තු කොයි තරම් තිබුණද මහත්තයෝ..."

රත්නපුර පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී හිමිනමක විසින් ගෙල සිරකොට ඝාතනයකළා යැයි කියන පොලිස් සැරයන් ජයමාන්න මොහොට්ටලාගේ චන්ද්‍ර ජයලාල් මහතාගේ දේහය අසල හිඳිමින් ඒ මහතාගේ ආදරණීය බිරිය ප්‍රමිතා වර්ණහීලි කල්දේරා මහත්මිය හඬා වැලපෙමින් පවසන්නීය.

එම සැරයන්වරයාගේ නිසල දේහය පල්ලේබැද්ද, බඹරගස්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවෙසේ මේ වන විට මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.
නොසිතූ අවස්ථාවක මේ පොලිස් නිලධාරියා මරණයට පත්වී ඇති බව ආරංචි වූ ගම්වාසීන් ඔහුගේ නිවෙසට පැමිණ සිටියේ එය සිතා ගැනීමටවත් නොහැකිවය. ප්‍රමිතාගේ හා පුතුන් දෙදෙනාගේ විලාපයෙන් මුළු බඹරගස්තැන්න ගම්මානයම කම්පාවටම පත්වී තිබිණි.

වරෙන්තුවක් භාරදීමට රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය එම සැරයන්වරයා එහිදී ඝාතනයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රත්නපුර පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

රත්නපුර අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට ඉදිරිපත් නොවීම හේතුවෙන් අධිකරණය විසින් හිමිනමට නිකුත් කළ වරෙන්තුවක් භාරදීමට එම සැරයන්වරයා කීප වතාවක්ම එම විහාරස්ථානයට ගියත් එම හිමිනම මාසයක පමණ කාලයක සිට විහාස්ථානයෙන් පැනගොස් සැඟවී සිට ඇති බව පොලිසිය කියයි.
එම වරෙන්තුව සම්බන්ධව දැනුම්දීමට සැරයන්වරයා කීපදිනක්ම එම විහාරස්ථානයට ගොස් ඇතත් හිමි නම එහි සිට නැත. සැකකාර හිමිනම ඉකුත් 10 දින විහාරස්ථානයට පැමිණ සිටින බව ගම්වාසීන්ගෙන් පොලිසියට දැන ගන්නට ලැබී ඇත.

ඒ අනුව සැරයන්වරයා එම විහාරස්ථානයට ගොස් ඇති බවත් එම හිමිනම සැරයන්වරයාට බැන වදිමින් පහරදී ඇති බවත් කියැවේ. සැරයන්වරයා තමා බේරාගන්නා ලෙස මහ හ¾ඩින් කෑගසමින් ආධාර ඉල්ලා ඇති අවස්ථාවේ කිසියම් අයෙක් විසින් ඒ බව පොලිස් හදිසි දුරකථනයට දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.

සැරයන්වරයා මුදාගැනීමට පොලිසිය එම විහාරස්ථානයට යන විට හිමි නම අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අවම බලය පාවිච්චි කර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නමුත් සැරයන්වරයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර සුළු වේලාවකට පසු මියගොස් තිබිණි. එම ඝාතනයට සැකපිට එම විහාරස්ථානයේ හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර රෝහල වෙත යොමුකර ඇත්තේ පොලිසියට බෝම්බය දමා ගැසීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට පොලිසිය එල්ල කර ඇති පහරදීමකට තුවාල ලැබීම හේතුවෙන් බව පොලිසිය කියයි.

මේ සැරයන්වරයා බම්බලපිටිය, ගොඩකවෙල, කහවත්ත, මඩකළපුව, කල්මුණේ වැනි පොලිස් ස්ථානවල සේවය කර ඇති අතර ඒ මහතා ඝාතනයට ලක්වන විට රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිට ඇත.

සැරයන් ජයලාල් සමරවික්‍රම මහතාගේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකිව ඒ මහතාගේ ආදරණීය බිරිය ප්‍රමිතා මහත්මිය කීප වතාවක්ම තම සැමියාගේ නිසල දේහය අසල සිහිසුන්ව ඇද වැටෙන්නට වූවාය.

ඇය තම ඥාතීන්ගේ හා අසල්වැසියන්ගේ ආධාරයෙන් කීප වතාවක්ම කාමරයක් තුළට රැගෙන යෑමට උත්සාහ කළද ඇය තම ආදරණීය ස්වාමිපුරුෂයාගේ නිසල දේහය අසලින් මඳකට හෝ අෑත්වීමට කැමැත්තක් නොදැක්වූවාය.

'අම්මා හරිම සංවේදීයි. පොඩි දෙයටත් අම්මා සැලෙනවා. තාත්තා හැම වෙලාවේම අපිට කියනවා අම්මා බොරුවටත් හිත රිද්දගන්න නිසා මොනවත් කියන්න එපා කියලා' මියගිය සැරයන්වරයාගේ වැඩිමහල් පුතු රංග සඳරුවන් (26) කුඩා දරුවෙක් සේ හඬා වැලපෙමින් සිහින් හ¾ඩින් පැවැසීය.

සැරයන් ජයලාල්ගේ බාල පුතණුවන් පල්ලේබැද්ද මහා විද්‍යාලයේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටින අතර ඔහු නමින් විදුර ජයරුවන් සමරවික්‍රමය. තම පියාණන්ට සිදුවූ ඉරණම සිතා ගැනීමට නොහැකිව ඔහු ඇඳක් මත වැතිරී සිටී.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගමේ කිසිම පුද්ගලයෙක් සමඟ කිසි දිනෙක අමනාපයක් නොවූ පුද්ගලයෙක් සිටී නම් ඒ ජයලාල් සාජන් මහත්තයා බවයි. කෙනෙකුට කිසිදාක හිත රිදෙන්නට වචනයක්වත් කතා කළ බවක් කිසිදා අසා නොමැති බව ඔවුහු පවසති.

ඒ මහතා ඝාතනයට ලක්වන මොහොතේ පෙරළා පහරදීමකට උත්සාහයක් නොගත් නිසා මෙලෙස තම ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුව ඇතැයි සමහරුන්ගේ මතයයි.
ඒ තරම්ම නිවුණු පුද්ගලයෙක් ලෙස ගම්මු විසින් හඳුන්වන චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතා කිසිවකුට කිසිවිටෙක සිත රිදෙන ආකාරයේ යමක් කළ ආරංචියක් නොමැති බව පල්ලේබැද්ද ප්‍රදේශවාසීහු අප සමඟ පැවැසූහ.

ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ (12දා) බඹරගස්තැන්න පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon