කැබිනට් තිරණ

  👤  513 readers have read this article !
By mawbima 2018-07-12

දෙනගම ධම්මික රණවීර

රජයේ ඉඩම් සඳහා බලපත්‍ර

රජයේ ඉඩම් සඳහා බලපත්‍ර දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ඉඩම් කැබලි ලක්‍ෂ 11ක් පමණ 2019 - 2020 කාල සීමාව තුළ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

දුම්රිය මෙහෙයුම් මූලස්ථානයක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය සේවාව වැඩි දියුණු කිරීම සඳහා දුම්රිය පාලක මධ්‍යස්ථානයක් සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා මරදාන ප්‍රදේශයෙන් අක්කර 01ක් සහ රූඩ් 02ක පමණ භූමියක් දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට නියමිතය.

සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක්

2019 අය වැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දළ ජාතික නිෂ්පාදනයෙන් 17% දක්වා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමටද පුනරාවර්තන වියදම 15% සීමාවේ පවත්වා ගැනීමද, රාජ්‍ය ආයෝජන 5.5% සීමාවේ පවත්වා ගැනීමටද අය වැය හිඟය 3.5%ට සීමා කිරීමට ද රාජ්‍ය ණය 70% දක්වා අඩු කිරීමට ද අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාව - බංග්ලාදේශයත් ශ්‍රී ලංකාව - පින්ලන්තය අතර ගිවිසුමක්

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අවබෝධතාව සඳහා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමඟත් ශ්‍රී ලංකාව හා පින්ලන්තය අතරත් ගිවිසුම් අස්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
වැවිලි ක්‍ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා 1979 අංක 45 දරන ජාතික වැවිලි කර්මාන්ත ආයතන පනත සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ස්ථාවර සෙස් බදු ගාස්තුවක්

තේ තොග අපනයන මත ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව කිලෝ එකක් සඳහා රුපියල් 10ක් හෝ කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය මිල ගණන්වලින් 2.5%ක් ලෙස එම සෙස් බදු පැනවීමට නියමිතය.

විදුලි බලාගාරය සඳහා
ඉඩමක් නිදහස් කරයි

කෙරවළපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමට අක්කර 110ක භූමියක් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙගාවොට් 500ක බලාගාරයක් එහි ඉදිකිරීමට අපේක්‍ෂා කෙරේ.

සමෘද්ධියට තායිලන්තයෙන්
තාක්‍ෂණික උපදෙස්

සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් සඳහා තායිලන්තයෙන් තාක්‍ෂණික උපදෙස් ලබා ගැනීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අලි දෙදෙනාට රක්‍ෂිතයක්

සිංහරාජයේ අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන ‍ෙදාළේකන්ද ප්‍රදේශයේ හෙක්ටයාර් 36ක භූමි ප්‍රදේශයක් යොදා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඉන්දියානු සමාගමකින් ලිට්රෝ ගෑස්

ලිට්රෝ ගෑස් සිලින්ඩර් 656,298ක් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 2057කට මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කොළඹ මාලඹේ
සැහැල්ලු දුම්රිය සේවාවක්

කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. ඒ යටතේ නැවතුම්පොළවල් 16ක් ද ඉදිකෙරේ. දුම්රිය මාර්ගයේ දිග කි.මී. 17කි.

LED විදුලි පහන් සහන මිලට

අඩු විදුලි පරිභෝජනයක් සිදුකරන පාරිභෝගිකයන්ට එල්.ඊ.ඩී. විදුලි පහන් සහන මිලට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එල්.ඊ.ඩී. විදුලි පහන් ලක්‍ෂ 10ක් බැගින් වූ තොග 10ක් රුපියල් මිලියන 169.6කට මිලදී ගැනීමට නියමිතය.

2019 පාසල් පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 3473.1ක් යෙදවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ යටතේ පොත් වර්ග 419කින් පිටපත් 39.7ක් මුද්‍රණය කිරීමට ආයතන 27කට ලබා දීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon