ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාරගැනීමේදී බාධා

  👤  382 readers have read this article !
By mawbima 2018-07-12

ගම්පහ - කේ.ඒ. සිසිර කුමාර

ගම්පහ මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂවරයා මීගමුව මහ රෝහලට මාරු කර යවන ලෙසත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාට ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයෙහි වැඩ භාරගන්නා ලෙසත් දන්වමින් බස්නාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අස්සනින් යුතුව එවා ඇති රාජ්‍ය ලිපිය අනුව අධ්‍යක්ෂ ධුරයෙහි වැඩ භාරගැනීමට ගොස් අස්සන් කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාට සුළු සේවකයන් ඇතුළු රෝහල් සේවයේ නියුතු පිරිසක් ඊයේ (11දා) කළ බාධාවක් නිසා අධ්‍යක්ෂ ධුරයේ වැඩ කිරීමෙන් මහාචාර්ය වෛද්‍යවරයා ඉවත් වීමට සිදුවූ නිසා හදිසි ප්‍රතිකාර හැර සෙසු වෛද්‍ය කටයුතු දිගටම වර්ජනය කිරීමට සියලු වෛද්‍යවරු තීරණය කළහ.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාගෙන් අප කළ විමසුමේදී මෙසේ කීය.

වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ අකාර්යක්ෂමතාව නිසා රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා නිසි කාර්යක්ෂම සේවයක් දීමට වෛද්‍යවරුන් වර්ජනය ආරම්භ කළා. පැය 24ක් තුළ ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙස අප ඉල්ලා තිබුණා. වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂ මුදිත කරුණාරත්න මහතාට මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩ භාරගන්නා ලෙසත් මා හට ගම්පහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ධුරයෙහි වැඩ භාරගන්නා ලෙසත් 11දා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරසේකර මහතාගේ අස්සනින් එවා තිබූ ලිපිය අනුව මා එම තනතුරේ වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේදී වෛද්‍යවරුන් නොවන වෙනත් සේවකයන් සුළු පිරිසක් බාධා කළා. නමුත් මම අස්සන් කළා.

මීගමුව රෝහලට මාරු කර යැවීමට නියම වූ වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂ මුදිත කරුණාරත්න මහතා අපට කීවේ එවැනි ලිපියක් ලැබී නැති බවයි. නමුත් ලැබුණු ලිපි අප සතුව තිබෙනවා. මේ තියෙන්නේ ඒ ලිපිය. අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාරගැනීමට මම ගියේ ඒ ලිපිය අනුවයි. දැන් වැඩ බලන අධ්‍යක්ෂවරයා රෝහලේ ඉන්නවාද නැද්දවත් අපි දන්නේ නෑ. මේ තත්ත්වය මත ප්‍රශ්නය නිරාකරණය වන තුරු අපි තවදුරටත් වර්ජනය කරනවා. හදිසි රෝගීන් සහ දැනට රෝහල්ගතව සිටින ලෙඩුන්ට අපි ප්‍රතිකාර කරනවා. නව ඇතුළත් වීම් භාරගන්නේ නෑ. වගකිවයුතු පුද්ගලයකු නැති නිසා.

"විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාට අධ්‍යක්ෂ ධුරයෙහි වැඩ භාර ගැනීමට ඉඩ දුන්නා. නම් අපි වර්ජනය නවත්වනවා" යැයි රෝහලේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු කීහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon