මීගොඩ හමාගිය සුළි සුළඟින් නිවාස 75කට පමණ බර හානි

  👤  478 readers have read this article !
By mawbima 2018-07-12

බත්තරමුල්ල - ඉනෝකා උදයාංගනී, හබරකඩ - එස්. ප්‍රියලාල්, පනාගොඩ - චම්පා ජීවන්ති

මීගොඩ, කජුගහයටදෙණිය මංචිවත්ත ප්‍රදේශය හරහා ඊයේ (11දා) අලුයම් කාලයේ හමාගිය සුළි සුළඟකින් නිවාස 60ත් 70ත් අතර ප්‍රමාණයක් පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානියට පත්වී ඇතැයි එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය පවසයි.

ඊයේ අලුයම 4.00ට පමණ විනාඩි පහක පමණ කාලයක් තුළ මේ මහා විනාශය සිදුවූ බව හානියට පත් නිවාස හිමියෝ පවසති.

හානියට පත් නිවාස හිමිකාරියක් පැවැසුවේ අලුයම් කාලයේ විශාල ශබ්දයක් සමඟ හමා ආ තද සුළඟකින් නිවෙසේ වහලයේ කොටස එකින් එක ගැලවී යනවාත් සමඟ වෙනත් නිවාසවල කොටස් තම නිවාස තුළට කඩාවැටුණු බවත් බියට පත් තමන් ඇඳක් යට සැඟවුණු බවත්ය.

සිද්ධිය සැලවීමත් සමඟ සිදුවූ හානිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි හා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි රංජිත් හේවාවසම් යන මහත්වරු පැමිණ සිටියහ.

මෙහිදී ජීවිත හානි කිසිවක් සිදු වී නැතැයි පවසන මීගොඩ පොලිසිය සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි පවසයි.

කජුගහයටදෙණිය දේවාලයේ කපු මහතාගේ පියා වන ටී.කේ. පියසේන මහතා එම සිද්ධිය පිළිබඳ මෙසේ සඳහන් කර සිටියේය.

අලුයම් කාලයේ විශාල ශබ්දයක් සමඟ සුළඟක් හමා එනවා වගේ මට දැනුණා. ඒ සමඟම මම නිවෙසින් එළියට පැමිණ අපේ ගරාජය තිබූ කොටසට එන විට එකවරම සුළඟ වැඩිවෙලා අපේ ගෙදරත් සෙලවෙනවා වගේ දැනුණා. ඒ සමඟම උඩු මහලේ පිහිටි දේවාලයේ බිත්තිය කඩාගෙන වැටෙනවා ඇහුණා. මාව සුළඟට ගහගෙන යන්න වගේ ආවා.

මම ගරාජයේ කොන්ක්‍රීට් කණුවක් හයියෙන් අල්ලා බදාගත්තා. සුළං තත්ත්වය පහ වන තුරුම එහෙම හිටියා. පස්සේ ගිහින් බලනකොට අපේ ගෙයි වහලත් දේවාලයේ බිත්තියත් කඩාවැටිලා තිබුණා. වහලයේ සෙවිලි තහඩු පේන්නට තිබුණේ නැහැ.

සුළි සුළඟින් කජුගහයටදෙණිය දේවාල පාර හා එකමුතු මාවතේ නිවාස රැසක් මෙසේ හානියට පත්වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon