උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිසියේ හතර දෙනකු ඉදිරිපිටදී වලල්ලාවිට ප්‍රා.ලේකම්ට මරණ තර්ජන

  👤  3243 readers have read this article !
By mawbima 2018-07-12

උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු ඉදිරිපිටදී තමාට පෙරේදා (10දා) මහ දවල් වැලි ජාවාරම්කාරයකු බැන මරණ තර්ජනය කර නිල රථයේ වීදුරුවටද පහරදුන් බව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රංජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පසුගියදා මීගහතැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

වලල්ලාවිට, පැලවත්ත ගඟේ අනවසර වැලි ගොඩදැමීම් සිදුකරන බවට ලද පැමිණිලි කිහිපයක් අනුව ඒ පිළිබඳව සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම්වරයා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකු එහි ගොස් ඇත. මීගහතැන්න පොලිසියට දැනුම් දී උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට කැඳවූ බව ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

"පැලවත්ත ගඟේ පහළ ප්‍රදේශයේ වැලි ගොඩදැමීමට අවසර දෙන්නේ නැහැ. මේ පිළිබඳ සොයා බැලීමේදී ගඟේ ඉවුරු කපා වැලි ගොඩදමා ඇති බව පැහැදිලි වුණා. ඒ මොහොතේම "මොන්ටේරෝ" වර්ගයේ වාහනයකින් පැමිණි ඉඩම් හිමියා යැයි කියන පුද්ගලයා එහිදී ඉදිරිපත් වුණා.

අනවසර හා නීති විරෝධී වැලි ගොඩදැමීමක් බව පොලිස් නිලධාරියා පෙන්වා දුන්නා. එවිට බලපත්‍ර ඉල්ලුම් කර ඇතැයි ඔහු කීවත් මේ ප්‍රදේශයේ වැලිගොඩ දැමීමට බලපත්‍ර ලබා නොදෙන බව පැහැදිලි කර දුන්නා. එවිට ඔහු මේක කසිප්පු පෙරන්න නෙවෙයි. මගේ ගේ හදන්නයි. උඹ දැන ගනින් පැය විසිහතරක් යන්න කලින් උඹව වලල්ලාවිටින් ඉවත් කරනවා. උඹ දැනගනින් වැඩිය දැඟලුවොත් බත් කන්න ලැබෙන්නේ නැහැ" ආදී වශයෙන් ඔහු තර්ජනය කරන විට තමා සිය වාහනයට ගොඩවූ විට වාහනයේ වීදුරුවටද අතින් පහරදී තර්ජනය කළ බව ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

පසුව මේ පිළිබඳ මීගහතැන්න පොලිසියට පැමිණිලි කර කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතාටද දැනුම් දුන් බව ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

මෙම පුද්ගලයා පැලවත්ත නගරයේ ව්‍යාපාරිකයකුගේ පුතකු බවත් අපරාධ කිහිපයකට සම්බන්ධව සිරගතව සිටි අයකු බවත් පසුව හෙළිව ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon