රත්නපුරේ චණ්ඩි හිමිනම පොලිස් සැරයන්ගේ ඉළඇට 11ක් බිඳලා

  👤  3714 readers have read this article !
By mawbima 2018-07-12

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

භික්ෂුවකගේ පහරදීමකින් මියගිය බව කියන රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් සමරවික්‍රම මියගොස් ඇත්තේ බෙල්ලට සහ පපුවට සිදුකර ඇති පහරදීම් හා තෙරපීම්වලින් සිදුවූ තුවාලවලින් බව අධිකරණ වෛද්‍ය වාර්තාව සඳහන් කරයි.
පහරදීමෙන් සැරයන්වරයාගේ ඉළඇට 11ක් බිඳී ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

රත්නපුර කොස්පැලවින්න ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වරෙන්තුවක් භාරදීම සඳහා මෙම පොලිස් නිලධාරියා එහි ගිය අවස්ථාවේදී හිමිනම සහ සැරයන්වරයා අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් හිමිනම සැරයන්වරයාට පහරදී තිබුණේ 10දා උදේ 11.00ට පමණය.

අසල්වැසියන්ගේ දැනුම්දීම අනුව පොලිසිය එහි යනවිටත් හිමිනම සැරයන්වරයා බිම දමාගෙන පහරදෙමින් සිට ඇති අතර සිහිසුන්ව සිටි සැරයන්වරයා වහාම රෝහලට ගෙනගොස් තිබිණි.

රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් සැරයන්වරයාගේ දිවි ගලවා ගන්නට පැයක පමණ කාලයක් වෙහෙසුණු නමුත් පස්වරු 1.15ට පමණ ඔහු මියගොස් තිබිණි.

රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සිසිර දිසානායක මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලද්දේ රත්නපුර වැඩ බලන මහෙස්ත්‍රාත් නිරෝෂණ නින්දවත්ත මහතාගේ නියෝගයෙනි.

මියගිය සැරයන් උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කෙරිණි.

සිදුකරන ලද පහරදීම් සහ තෙරපීම් නිසා ඉල ඇට 11ක් බිඳී ඇති අතර බිඳුණු එක් ඉළ ඇටයක කොනක් හෘදය වස්තුවටද තුවාල සිදුකරමින් තෙරපී ගොස් තිබී ඇත.

සිරුරේ බාහිර තුවාල කිසිවක් නොතිබුණත් අත්ල පිටුපස හා වැළමිට ආසන්නයේ සිරීම් තුවාල කිහිපයක් නිරීක්ෂණය කර තිබිණි.

රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගාමිණී මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට සහාය විණි. මියගිය සැරයන් විජයතිලකගේ බිරිය සහ පුතකු විසින් සිරුර හඳුනාගන්නා ලදී.

සැකකාර හිමිනම වාසය කළ ආවාසගෙය තුළ තිබුණු අත්බෝම්බයක්, කෙටේරියක්, උල් පිහි සහ මන්නා පිහි, ඇසිඩ් පිරවූ බෝතල් සහ වස කුප්පියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු හිතුවක්කාර ලෙස හැසිරෙමින් පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන්ට ඉඩ නොදෙමින් බාධා කරන බව පොලිසිය කියයි.

සැකකරු ඊයේ (11දා) සවස රත්නපුර වැඩ බලන මහෙස්ත්‍රාත් නිරෝෂණ නින්දවත්ත මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon