ගාල්ල පෙර පුහුණුවට වැස්සෙන් බාධා පුළුවන්කාරකම් ගැන දෙපිලම කටමැත ‍ෙදාඩවති

  👤  3053 readers have read this article !
By mawbima 2018-07-12

සිරිනාම රාජපක්‍ෂ
ගාල්ල ක්‍රිකට්
ක්‍රීඩාංගණයේ සිට...

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 26වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස අද (12දා) ගාල්ලේදී ඇරැඹෙන ටෙස්ට් තරගයේදී වෙනදාට වඩා ප්‍රශ්න රැසක් කරපින්නා ගෙන තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇතත් තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහභාගි වූ රොෂේන් සිල්වා කියා සිටියේ ලොව 2වැනි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන දකුණු අප්‍රිකානුවන් හමුවේ ඕනෑම අභියෝගයකට සූදානමින් තරගයට පිවිසෙන බවයි.

පැවැති වර්ෂාව හේතුවෙන් අද (ඊයේ) දින පුහුණුවීම් කටයුතුවල යෙදීමට නොහැකි වූ බැවින් තරගයට සකසා ඇති තණතීරුව දැකගැනීමට නොහැකි වූ බවත් කවුරුත් දන්නා පරිදි ගාල්ල තණතීරුව දඟ පන්දු යවන්නන්ට වඩාත් සුදුසු බවත් පැවැසූ රොෂේන් සිල්වා "තණතීරුව වසා තිබුණු නිසා ඒ ගැන යමක් ප්‍රකාශ කිරීමටත් තරගයට යොදා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය ගැනත් යමක් කීමට අපහසුයි. කොහොම වුණත් මෙම තණතීරුවත් දඟ කැවෙන එකක් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඩේල් ස්ටේන්, රබාඩා හා පිලැන්ඩර් වැනි ලොව හොඳම වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත මෙම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අපිට ලොකු අභියෝගයක් වේවි. එහෙත් එම අභියෝගයට අපි සූදානමින් ඉන්නෙ. අනෙක අපි බංග්ලාදේශයට, ඉන්දියාවට හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලියන් ඉතා හොඳින් කළා" යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් පැවැත්වීමට නියමිත (ඊයේ දිනයේදී) අයි.සී.සී. පරීක්‍ෂණයෙන් පසුව ශ්‍රී ලංකා නායකයාට මෙම ගාල්ලේ ටෙස්ට් තරගයට තහනමක් පැනවුවහොත් කණ්ඩායමේ ඇති විය හැකි වෙනස්කම් ගැන ඇසූ පැනයටද පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරු රොෂේන් "පරීක්‍ෂණය ගැන මට මොකුත් කියන්න බැහැ. චන්දිමාල් කියන්නේ කණ්ඩාමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් තමයි. පසුගිය කොදෙව් ටෙස්ට් සංචාරයේදීත් මෙවන් අසීරු තත්ත්වයන්ට අපේ කණ්ඩායම මුහුණ දුන්නා. නමුත් එහිදී අපි අවසන් ටෙස්ට් තරගයත් දිනල තරගාවලිය සම කර ගත්තා. ඒ නිසා ඒ පැත්තෙන් මතුවෙන ඕනෑම අභියෝගයකටත් මුහුණ දෙන්න අපි සූදානම්" යැයිද කීය.

තවද මෙම ටෙස්ට් තරගය රොෂේන් සිල්වා ශ්‍රී ලංකාව තුළදී ක්‍රීඩා කරන ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක් වන අතර ඒ පිළිබඳවද විමසමින් ඇසූ පැනයන්ට පිළිතුරු දුන් රොෂේන් සිල්වා පැවැසුවේ මෙවන් කතාවකි. "කණ්ඩායමේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීම මට කිසිම පීඩනයක් නැහැ. කියන තැනක සෙල්ලම් කරනවා. පසුගිය කොදෙව් ටෙස්ට් තරගාවලියට යන්න කලින් මම ගොඩාක් මහන්සිවෙලා සූදානම් වෙලා ගියත් අපි හිතපු නැති විදියට එහි තණතීරුවල ක්‍රීඩා කිරීම අමාරු වුණා. අපේ කණ්ඩායමේ කළමනාකරු හා පුහුණුකරුවන් පවා කිව්වෙ පසුගිය වසර 10ටම ලැබුණ වැඩිම තණකොළ සහිත තණතීරු ඒවා බවයි. කොහොම වුණත් එවැනි අමාරු තරගාවලියක බාබඩෝස්හි ටෙස්ට් තරගයේ ජයග්‍රහණයේ කොටස්කරුවකු වන්නට ලැබීම ගැනත් ආඩම්බරයක් තිබෙනවා."

ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් දකුණු අප්‍රිකානු නායක ෆාෆ් ඩුප්ලෙසි පවසා සිටියේ මෑතකදී තරග කළ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියන් සලකා බැලීමේදී තම කණ්ඩායම සතුව යහපත් වාර්තා ඇති බවත් මෙම ටෙස්ට් තරගාවලියද එවන් ජයග්‍රාහී මට්ටමකින් නිමා කිරීමට සැලැසුම් කර ඇති බවත්ය. කෙසේ වෙතත් වෙනත් විදෙස් කණ්ඩායම් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම තම රටේදී පරාජය කිරීමට අපහසු බවත් කී ඩුප්ලෙසි "ගාල්ල වැනි තණතීරුවක් ඉදිරියේ තරගයේ කාසියේ වාසිය ඉතාම වැදගත්. මේ තණතීරුව දැක්ක විදියට අපේ කණ්ඩායමට 2වැනි දඟපන්දු යවන්නෙක් ගැන සලකා බලන්න වේවි.

කෙසේ වෙතත් ඩේල් ස්ටේන්ගෙ රිවර්ස් ස්විං පන්දුවෙනුත් මෙහිදී වැඩි යමක් කරන්න පුළුවන් කියලත් මම හිතනවා." යැයි කීය. තවද දකුණු අප්‍රිකානු නායකයා අවධාරණය කර සිටියේ ඕනෑම තැනක තරගයකදී ඕනෑම ප්‍රතිවාදී ටෙස්ට් කණ්ඩායමක කඩුලු විස්සම දවා ගත හැකි පන්දු යවන්නන්ගේ බළ ඇණියක් තමන් සතු බවයි.

මේ අතර ද.අප්‍රිකානුවන් සමඟ අදින් ඇරැඹෙන ටෙස්ට් තරගය හා 20 වැනිදා එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන ටෙස්ට් තරගය පාසල් සිසුන්ට මෙන්ම ක්‍රිකට් ඇකඩමිවල පුහුණුව ලබන සිසුන්ට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීමද විශේෂත්වයකි.

ඡායාරූපය - තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon