ප්‍රංශය තෙවැනි වරටත් අවසන් සටනට පිවිසෙයි

  👤  3288 readers have read this article !
By mawbima 2018-07-12

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ අලුයම නිමාවට පත්වූ පළමු අවසන් පූර්ව තරගයෙන් බෙල්ජියම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට ප්‍රංශය සමත් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව මෙයයි.

සා.පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ දෙවැනි විනාඩිය ගතවූ පසු බෙල්ජියම් ක්‍රීඩකයන් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නියැළුණු අතර 15 වැනි විනාඩියේදී බෙල්ජියම් කණ්ඩායමේ නායක ඊඩ්න් හසාඩ් ගෝලයක් ලබාගැනීමේ උත්සාහයක නිරත වූවත් එය අසාර්ථක විය. 21 වැනි විනාඩියේදී යළිත් ක්‍රියාත්මක වූ බෙල්ජියම් ක්‍රීඩකයන් ප්‍රංශ කණ්ඩායමේ දැල වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරය ප්‍රංශ කණ්ඩායමේ නායකයා මෙන්ම දැල් රකින්නාද වන හියුගෝ ලෝරීස් විසින් ඉතා දක්ෂ ලෙස වළක්වන ලදී. ඉන් අනතුරුව ප්‍රංශ ක්‍රීඩකයන්ද ප්‍රතිවාදී පිලේ දැල ආක්‍රමණය කිරීමට කිහිප වරක්ම උත්සාහ ගත්තද එම අවස්ථා සියල්ලම ව්‍යර්ථ වීමත් සමඟ තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්විය.

තවද දෙවන භාගය ආරම්භ වීමත් සමග බෙල්ජියම් ක්‍රීඩකයන් යම් කිසි පීඩනයක් ප්‍රංශය වෙතට එල්ල කළද දක්ෂ ලෙස එම පීඩනය මඟහරවා ගැනීමට ඔවුන් සමත් විය. 47 වැනි විනාඩියේදී බෙල්ජියම් ක්‍රීඩක රොමෙලු ලුකාකු ප්‍රංශ කණ්ඩායමේ දැල වෙත ප්‍රහාරයක් එල්ල කළද එය ඉන් ඉවතට ගියේය. 51 වැනි විනාඩියේදී ප්‍රංශ කණ්ඩායමට හිමි වූ කෝනර් කික් ප්‍රහාරයකට හිසෙන් පහරක් එල්ල කරමින් එය ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට සැමුවෙල් එම්ටිටි සමත් වීමත් සමඟ ප්‍රතිවාදීන්ගෙන් තමන්ට මෙතෙක් එල්ල වුණු පීඩනය නැවත ප්‍රතිවාදීන්ටම යොමුකරන්නට ප්‍රංශය සමත් විය. ප්‍රංශය එම ගෝලය ලබාගැනීමත් සමග නැවතත් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ බෙල්ජියම අවස්ථා කිහිපයකදීම ගෝල ලබාගැනීමට උත්සාහ කළද එම අවස්ථා දක්ෂ ලෙස වළක්වාලන්නට ප්‍රංශ දැල් රකින ක්‍රීඩක හියුගෝ ලෝරිස් සමත් වීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් ප්‍රංශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවලදී 'සී' කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් අපරාජිතව අවසන් කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙසත් පේරු රාජ්‍ය ගෝල 1-0ක් ලෙසත් ප්‍රංශය හමුවේ පරාජය වූ අතර ඩෙන්මාර්කයට එරෙහිව පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නටද ප්‍රංශය සමත් විය. අවසන් කණ්ඩායම් 16 වටයේදී පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වූ ආජන්ටිනාව ගෝල 4-3ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජය වීම ලොව පුරා පාපන්දු ලෝලීන් අතර දැඩිසේ කතාබහට ලක්වුණු කරුණක් වූ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී උරුගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක ජයක් ලබාගැනීමටද ප්‍රංශය සමත් වීම කැපී පෙනුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon