එංගලන්ත ජාතිකයකු ඇතුළු දෙදෙනකුට වෙඩි තැබීමේ සිද්ධිය සැකකරු යළිත් රක්ෂිතයට

  👤  3111 readers have read this article !
By mawbima 2018-07-12

බළපිටිය - දම්සරී ලියනගේ

ඉඳුරුව රෝයල් බීච් හෝටලය අසලදී එංගලන්ත ජාතිකයකු ඇතුළු දෙදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළේ යැයි කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු ජූලි 18 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය. සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් තවදුරටත් පරීක්ෂණ පවත්වා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ උතුරු මාගල, උෟරගස්මංහන්දිය ලිපිනයේ පදිංචි ඕපාත කංකානම්ලාගේ චන්ද්‍රලාල් (40) නමැත්තෙකි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ඉඳුරුව, රෝයල් බීච් හෝටලේ අයිතිකරු සමන් ප්‍රසන්න (38) නමැති අය සහ මොහොමඩ් බුලි බුලියා (57) නමැති එංගලන්ත ජාතිකයෙකි. දෙදෙනා ජීප් රථයකින් ගමනක් ගොස් ආපසු පැමිණ හෝටලය අසල සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි වැදීමෙන් තුවාලලත් දෙදෙනා එම අවස්ථාවේදීම කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ වනවිට සමන් ප්‍රසන්න නමැති අය සුවය ලබා සිටී. එංගලන්ත ජාතිකයා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය අප්‍රේල් 04 වැනි දින රාත්‍රි 9.00ත් 9.15ත් අතර මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවද කොස්ගොඩ පොලිසිය කියයි. තුවාලකරුවන් දෙදෙනාට වෙඩි 08ක් පමණ වැදී තිබෙන බවත් වෙඩි තැබීම ටී - 56 ගිනි අවියකින් සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී - 56 හිස් පතරොම් කොපු කීපයක් සොයාගත් බවත් කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon