15 හැවිරිදි පිරිමි දරුවකු පොලිසිය තුළදී අපයෝජනය කිරීම නඩුව සැප්තැම්බරයට කල් යයි

  👤  3127 readers have read this article !
By mawbima 2018-07-12

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

වැලිඔය පොලිසියේ අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවකු වැලිඔය පොලිස් ස්ථානය තුළදී බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස 5 වැනි දින යළි කැඳවීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය.

එදිනට පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙම සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙම අපරාධයට අදාළව දැනට ඇප මත මුදා හැර සිටිනුයේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් අජිත් (58918) නමැත්තෙකි.

15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

පොලිසිය තුළදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳ මුල් ප්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මඟින් පසුගිය මැයි මස 8දා අත්අඩංගුවට ගත් බවයි.
එසේ අත්අඩංගුවට ගෙන පසු දින පදවිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප්‍රකාශ කර ඇති අපයෝජනයට ලක්වූ දරුවා එදින රාත්‍රියේ වැලිඔය පොලිසිය තුළ සිටියදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු විසින් තමන් බරපතළ ලෙස අපයෝජනය කළ බවද සඳහන් කර ඇත.

සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව දරුවා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා සනාථ කර ඇත්තේ දරුවා බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවටය. පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරු හඳුනාගැනීම සඳහා පෙරෙට්ටුවක් පැවැත්විණි. තමන් අපයෝජනය කළේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා බවට එම පෙරෙට්ටුවේදී හඳුනා ගැනීමට අපයෝජනයට ලක්වූ දරුවා සමත් විය.

පැමිණිල්ල වෙනුවෙන් මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා සහ වැලිඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වෑත්තෑව යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ ජයලත් අබේසිංහ මහතා පෙනී සිටියේය. අපයෝජනය ලක්වූ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි ධනුෂ්ක තිලකරත්න මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon