සයනයිඩ් විසෙන් මියගිය PHI නිවෙසේ සයනයිඩ් පාර්සලයක්

  👤  3251 readers have read this article !
By mawbima 2018-07-12

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි

බාඳුරාගොඩා වත්තේමුල්ල ප්‍රදේශයේ නිවෙසක් කඩා ඉවත් කිරීමේදී සයනයිඩ් බවට ලේබලයක් සඳහන් කළ ඇසුරුමක් හා එන්නත් සිරින්ජර් කිහිපයක් හමුවූ බව කොටදෙණියාව පොලිසිය කියයි.

දිවුලපිටිය මීරිගම මාර්ගය සමීපයේ පිහිටි මෙම නිවෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට අයත්ව තිබී ඇති අතර වසර කිහිපයකට පෙර එම සෞඛ්‍ය පරීක්‍ෂකවරයා මියගොස් ඇත්තේද සයනයිඩ් ශරීර ගතවීමෙන් බව හෙළි වී ඇත.

පසුව මෙම දේපළ හිමිවූ මියගිය අයගේ පුතකු විසින් නිවෙස සහ ඉඩම විකුණා ඇති අතර නිවෙස මිලදීගත් අය එය කඩා ඉවත් කිරීමට ව්‍යාපාරිකයකුට භාරදී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. සේවක පිරිසක් නිවෙසේ වහලය ගලවා ඉවත් කිරීමෙන් පසු සිවිලිමේ සඟවා තිබූ මෙම සයනයිඩ් අඩංගු ඇසුරුම හමුවීමෙන් පසුව පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම් දී ඇත. අනතුරුව පල්ලේවෙල හා කොටදෙණියාව පොලිස් ස්ථාන දෙකේ නිලධාරීන් ස්ථාන පරීක්‍ෂණයක් පවත්වනු ලැබීය.

හමුවූ සයනයිඩ් ඇසුරුම මියගිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා රාජකාරි කරන සමයේ ගෙනැවිත් සඟවා තිබූ එකක් බවට පොලිසිය සැක කරයි. පොලිස් භාරයට ගත් සයනයිඩ් හා සිරින්ජර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිතය.
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී.ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත පරීක්‍ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon