හැළි වළං හැර නිවෙසේ සියලු දේ විකුණමින් හෙරොයින් උරන පුතා අත්අඩංගුවට ගන්න

  👤  3249 readers have read this article !
By mawbima 2018-07-12

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

හැළි වළං හැර නිවෙසේ ඇති සියලුම දේ විකුණමින් වසර ගණනාවක් තිස්සේ හෙරොයින් පානය කරමින් සිටින සිය පුත්‍රයා හෙරොයින් පානයෙන් මුදා ගැනීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පුනරුත්ථාපනයට යොමු කරන්නැයි සිය පුත්‍රයාගේ ක්‍රියාකලාපයෙන් අන්ත අසරණභාවයට පත්වී සිටින අනුරාධපුර පොලිස් වසමේ මවක් අනුරාධපුර පොලිසියෙන් ආයාචනා කළාය. වසර ගණනාවක් තිස්සේ සිය පුත්‍රයාගේ ක්‍රියාකලාපය පිළිබඳව බලා සිටි මවක් මෙලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ නිලධාරීන්ගෙන් මෙම ආයාචනය සිදු කළාය. තමන් සන්තකයේ තිබූ සියලු දෑ විකුණාගෙන හෙරොයින් පානය කරන්නට ඉඩදී බලා සිටීමට තමන්ට සිදුවූවා යැයිද ඇය පැවැසුවාය.

'මගේ පුතා වසර දහයකට වැඩි කාලයක් හෙරොයින් උරනවා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ ගෙදරයි හැළි වළං ටිකයි ඇඳිවතයි පමණයි. පුතාට හැම තිස්සේම අවවාද කළා මේ ජරා මතින් අත් මිදෙන්න කියලා. නමුත් ඒක බීපු වෙලාවට මම කියන දේ අහගෙන සද්ද නැතුව උඩ බලාගෙන ඉන්නවා. මේ වැඩේ අත්ඇරලා හොඳ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න කියලා මට පුළුවන් විදියට බස් රථයක් අරන් දුන්නා. බස් එක විකුණලා ඒකේ සල්ලි ඉවර වෙනකම් හෙරොයින් ඉරුවා. එතැනින් නැවතුණේ නෑ. ගෙදර තියෙන සියලුම බඩු මුට්ටු විකුණ විකුණා දිනපතා කුඩු උරනවා. දවසට රුපියල් හය හත් දහසක් ඕන කුඩු උරන්න. කෑවේ බිව්වේ නැතත් හෙරොයින් ටික උරන්න ඕන.

ගෙදර මිනිස්සුන්ට කන්න තියෙන පොල් ටික කඩලා විකුණලා කුඩු ඉරුවා. මම දැන් රුපියල් 70 - 80ක් දීලා පොල් ගෙඩියක් ගන්න ඕන කෑමට මොනවා හරි හදාගන්න.

පසුගිය දවසක මගේ දුවගේ දරුවා ළඟ ජංගම දුරකථනයක් තිබ්බා. ඒකත් හොරෙන් අරගෙන ගිහිල්ලා විකුණලා හෙරොයින් අරගෙන. මගේ දරුවා වුණත් මට දැන් එපා වෙලා ඉන්නේ. කොහොම හරි පොලිසියට අරන් ඇවිත් පුනරුත්ථාපනය කරන්න කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon